“ලක්දනවිය” කොලය වසා ගහපු ගැහිල්ල මෙන්න..!
විදුලි අර්බුදය මාෆියාවක් ද..!
ජනතාව විදුලි පුටුවේ හිඳුවා සුර සැප විඳින LTL ද්‍රෝහීන්..!
(නිමල් අබේසිංහ)
රටේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝ වොට් පැය 9.5ක් බව ගණනය කර තිබෙන අතර වසරක් පාසා විදුලි ඉල්ලුම 5% සිට 10% දක්වා පරාසයක පවතී. විදුලිබල අමාත්‍යාංශය මේ වන විටත් හදිසි විදුලි මිලදී ගැනීමේ අවශ්‍යතාවක සිටින අතර ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාද ඉදිරිපත් කර ඇත. එම මිලදී ගැනීම් පිළිබඳවත් ආන්දෝලනාත්මක කතා පැතිරෙමින් පවතී.
රට මේ වන විට පවතින්නේ විදුලි අර්බුදයක මුව විටේය. එවකට සිටි විෂය භාර ඇමති රංජිත් සියඹලාපිටිය 2018 ජුනි 11 දින ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය අනුවද මෙම විදුලි අර්බුදය කලින් හඳුනා ගෙන සිටි බව සනාථ වේ.
එහි සඳහන් ආකාරයට “ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලැස්මට අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ මෙගා වොට් 300ක ධාරිතාවයෙන් යුක්ත ද්විත්ව චක්‍රීය වායු බලාගාරයක් පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගෙන ඉදිකිරීමට සැලසුම් කොට ඇත්තේ 2019 රට තුළ ඇති විදුලි හිඟයට මුහුණ දීම සඳහායි.” යනුවෙනි.
මෙම සටහනට අනුව විදුලිබල අමාත්‍යාංශය මෙකී අනතුර හඳුනා ගෙන තිබූ බැවින් 2015 -2037 විදුලි බල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලැස්මට කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මීට අමතරව දකුණු පළාතේ මෙගා වොට් 100ක විදුලි බලාගාරයක් ඉදිකිරීමද එම සැලසුමෙහි අන්තර්ගතය. එහෙත් වගකිව යුත්තන් උක්ත සැලැස්ම අපේක්ෂිත ඉලක්කයන් කරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය නොකිරීමෙන් මෙකී අවධානම තවත් තීව්ර වී ඇත.
ඒ අතරේ පවතින කාලගුණික තත්ත්වයන්ද නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ පවතින දෝශයන් හේතුවෙන් නිෂ්පාදන ධාරිතාව අඩු වීමද අර්බුදයේ ඉරණම නරක අතට යනු ඇත.
නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ටර්බයින් 3කින් එකක් මෙගාවොට් 270 බැගින් විදුලිය නිපද වේ. එහෙත් මේ වන විට එක් නිෂ්පාදන යන්ත්‍රයකින් නිපදවනු ලබන්නේ මෙගාවොට් 200ක් පමණි. පවතින තත්ත්වයන් මත එම යන්ත්‍රය අලුත්වැඩියාවකටද යා නොහැකි වන්නේ ඒ සඳහා විදුලි උත්පාදන යන්ත්‍රය අක්‍රීය කළ යුතු බැවිනි. එසේ වුවහොත් තවත් මෙගාවොට් 200ක නිෂ්පාදනය ඇණ හිටිනු ඇත.
මෙවැනි පසුබිමක කෙරවලපිටියේ ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 300 විදුලි බලාගාරයේ ඉදිකිරීම සම්බන්ධයෙන්ද අර්බුදයක් හට ගෙන තිබීම පවතින විදුලි අර්බුදයට තවත් අර්බුදයක් එකතු කිරීමක් බවට පත්ව තිබීම කනගාටුදායකය.
කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදි කිරීම වෙනුවෙන් 2016.11.16 ටෙන්ඩර් කැඳවා ඇති අතර 2017.04.21 දින ටෙන්ඩර් විවෘත කරනු ලදුව ලංකා විදුලිබල මණ්ඩලයට අයත් “ලක්දනවි” සමාගම සහ “Consortium of GCL windforce and Renewger” යන සමාගම් දෙකෙන් කුමන සමාගමකට මෙකී ටෙන්ඩරය ප්රදානය කරන්නේද යන්න බරපතළ සාකච්ඡාවක් පැවත්වී තිබෙන බව රංජිත් සියඹලාපිටිය හිටපු ඇමතිවරයා සහ වත්මන් අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් සන්දේශවලින් අනාවරණය වේ.
රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා 2018 ජුනි 11 දින ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයේ මෙසේ සඳහන් වේ.
“ව්‍යාපෘති ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 175ක් වශයෙන් සඳහන් කොට තිබූ අතර දෙවන අවම ලංසුකරුගේ ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන 299කි. මෙහි ඉංජිනේරු ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වු බැවින් “ලක්දනවි” ආයතනයේ ලංසුව ඉන්ජිනේරු ඇස්තමේන්තුවෙන් 58%කි.”
කැබිනට් සන්දේශයේ සඳහන් ආකාරයට ව්‍යාපෘතියේ කාරක ප්රාග්ධනය “ලක්දනවි” ආයතනය ඇතුළත් කර තිබී නැත. එලෙසම “ලක්දනවි” ආයතනය සිය ලංසුවේ ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන 175 ලෙස සඳහන් කර තිබුණත් ඔවුන් සිය ණය ලබා ගන්නා ආයතනය වන KFWIPEX BANK වෙත ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් 330ක් ලෙසද, EFC කොන්ත්‍රාත් වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 265ක් ලෙසද, ජර්මනියෙන් ලබාගන්නා උපකරණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 190ක් ලෙසද, තොරතුරු ඉදිරිපත් කර ඇත.
එලෙසම “ලක්දනවි” ආයතනය VAT හා NBT බදු සඳහා රජයේ සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කර තිබුණද පවතින නීති අනුව එසේ කිරීමට නොහැකි බැවින් එය ගැටලුවක් බවද ඇමති රංජිත් සියඹලාපිටිය ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයේ තවදුරටත් සඳහන් වේ.
ඒ අනුව “ලක්දනවි” සිය බැංකුවට ව්‍යාපෘති වියදම ඇමරිකන් ඩොලර් මිලියන 330ක් ලෙස ඉදිරිපත් කර ව්‍යාපෘතිය සඳහා ලංසුව ඇමරිකන් ඩොලර් මිලියන 175ක් ලෙස සඳහන් කර ඇත්තේ කිසියම් යටි අරමුණක් ඇති බවද පැහැදිලිය.
මෙහිදි “ලක්දනවි” විසින් මීට පෙර කෙරවලපිටියේ මේ හා සමානම විදුලි බලාගාරයක් ඉදි කිරීමේදී ඉදිරිපත් කළ ලංසුව මීට වඩා ඉහළ අගයක් ගෙන තිබීමද පුදුමය. ඒ මීට වසර ගණනාවකට පෙරදීය.
එසේ නම් ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති අවස්ථාවක ඩොලර් මිලියන 175 වැනි මුදලකට මේ විදුලු බලාගාරය ඉදිකිරීම කළ හැකි යැයි පැවසීමම විහිළුවකි. අනෙක් අතින් මේ වන විටදී “ලක්දනවි” සමාගම VAT, PAL හාNBT බදු මුදල් තමන් විසින්ම දරා ගෙන ව්‍යාපෘතිය කිරීමට සූදානම් බවද දන්වා ඇත. එය බෙහෙවින් සැක සංකා මතු වෙන කාරණයකි. එසේ නම් ඔවුන් මේ බව මුලින්ම දැනුම් නොදුන්නේ ඇයිද යන ප්රශ්නය ද පැන නගී.
2009
ජනවාරි 30 දින අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කර ඇති කැබිනට්
මණ්ඩල සන්දේශයේද මේ සම්බන්ධ විස්තරාත්මක කරුණු ඇතුළත් කර ඇති අතර “ලක්දනවි” සමාගම
මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමට සුදුසුකම් නොලබන බවද සඳහන් වේ. ඊට හේතු වන කරුණුද සවිස්තරාත්මකව දක්වා තිබේ.
“ලක්දනවි”
ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම අනුබද්ධ සමාගමකි. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ මුළු
අයිතියෙන් 63%ක් අයත්ව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයටය.
එහෙත් මව් සමාගම ඇතුළු අනෙකුත් සමාගම්හි පරිපාලනය සිදු වන්නේ 63%ක් කොටස් හිමි විදුල බල මණ්ඩලය නියෝජනය කරන අධ්යක්ෂවරුන් යටතේ නොවේ.
එහෙත් කෙරවලපිටිය “යුගදනවි” බලාගාරය ඉදි කිරීමේදී වෙස්ට්කොස්ට් සමාගම (ලක්දනවි සමාගමේ උප සමාගමකි) විසින් විදුලි බල මණ්ඩලය සමග ගිවිස ගත් බරපතළ කොන්දේසියක් කඩකර ඇති බව දැනගන්නට ඇත.
ඒ “යුගදනවි” බලාගාරය ක්‍රියාත්මක කර වසරකට පසුව ඒ සඳහා වන ඉන්ධන වියදම නිසි ලෙස ගණනය කිරීමක් සිදු කර ඒ අනුව විදුලි බල මණ්ඩලය ඉන්ධන සඳහා වැඩිපුර “යුගදනවි” බලාගාරයට ගෙවා ඇති මුදල් වෙස්ට්කෝස්ට් සමාගමෙන් ආපසු ගෙවීමේ කොන්දේසියය.
මේ වනතුරුත් මේ පිළිබඳ ගණනය කිරීම් සිදු කර නැති බව ලියුම්කරු අවධාරණය කරන අතර එම මුදල ගණනය කළහොත් රුපියල් බිලියන ගණනාවක්ද විය හැකිය. කාලය ලෙස බැලුවොත් එය 2008 සිට 2018 දක්වා වසර 10කි. වෙස්ට්කෝස්ට් ආයතනය එසේ නොකිරීමම මුදල් නොගෙවා පැහැර හරින්නට ගන්නා උත්සාහයකි.
මේ අතර විදුලිබල මණ්ඩලය මහජන බැංකුවට හා ඉතිරිකිරීමේ බැංකුවට ණය වශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 60කි. ඊටත් අමතරව ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 40කි.
මෙවැනි තත්ත්වයක් පවතිද්දී 63%ක් සිය අයිතිය තිබෙන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ඇතුළු එහි අනුබද්ධ සමාගම් ලාබ ලබමින් සිටින මුත් ඒවායේ ප්රතිලාභ විදුලි බල මණ්ඩලයට අහිමි වෙමින් තිබේ. වෙනකක් තබා එම සමාගම් රජයේ විගණනයට බඳුන් වීමද සමාගමේ බලධාරීහු වලකති.
එසේ කරමින් විටෙක මේ අය ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ඇතුළු අනුබද්ධ සමාගම් රජයේ ඒවා බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කරන අතර තවත් විටෙක එසේ නොවේ යැයි කියති. මේ කබර ගොයා තල ගොයා හා තල ගොයා කබර ගොයා කෙරුවාවට තිත තැබිය යුතු කාලය එළඹ ඇත. එය පවතින්නේ වත්මන් විෂය භාර ඇමතිවරයා අතය. එළඹ තිබෙන්නේ ඒ සඳහා සුදුසුම කාලවකවානුවය.
මෙගාවොට් 300 කෙරවලපිටිය “යුගදනවි” බලාගාරය 100%ක්ම රජය සතු විදුලි බලාගාරයක් බව සඳහන්ය. එය සනාථ කරනුයේ එවකට හිටපු විදුලි බල ඇමති චම්පික රණවක විසින් 2011 ජුලි 06 දින ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයක සඳහන්ය.
ඒ අනුව එහි අයිතිය මහ භාණ්ඩාගාරයට 5.7%ක් ද, LECO සමාගමට 16.1%ක් ද, EPF එකට 23.9%ක් ද, ලක්දනවි ලිමිටඞ් ආයතනයට 4.23%ක් ද වශයෙන් වේ.
එහෙත් ලාභාංශය බෙදීමේදී වැඩිම ලාභාංශ බෙදා ගන්නේ ලක්දනවි වෙතය. මේ පිළිබඳවද අප දිගින් දිගටම කරුණු හෙළිදරව් කළත් බලධාරීන්ගේ පියවී තිබූ නෙත් හැරුණු බවත් නොපෙනේ.
මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 294.8ක් වැය වී තිබේ. කලින්ද සඳහන් කළ පරිදී මෙම ප්‍රමාණයේම විදුලි බලාගාරයක් ඩොලර් මිලියන 175කින් ඉදි කරන්නේ කෙසේද යන පැනය මතු වෙයි.
2016 අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුවේ පැවති විදුලි අර්බුදය සහ පසුගිය මිලදී ගැනීම් පිළිබඳව විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත්තේ විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම පිළිබඳ අදහස් දක්වමින් විදුලි බල මණ්ඩලය 63% අයිතිය ඇති ලංකා ට්රාන්ෆෝමර්ස් ලිමිටඞ් සමාගම හා අනුබද්ධ සමාගම් ලබන අයුතු ලාභය ගැන සොයා බැලිය යුතු බවය.
එයිනුත් එහි අනුබද්ධ සමාගම් වන Esot සමාගම සහ එල්.ටී.එල් ප්‍රොජෙක්ට් සමාගම්හි අධ්‍යක්ෂවරුන්ගේ අදායම් හා වත්කම් පිළිබඳව සොයා බැලිය යුතු බවය. එවන් දූෂිත වටපිටාවක් පවතින සමාගම්වලට කෙරවලපිටිය නව විදුලි බලාගාරය ඉදි කිරීමේ ටෙන්ඩරය ලබාදීමද විහිළුවකි.
විදුලි බල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය විසින් සකසන ලද අභ්‍යන්තර රහස්‍ය ලේඛණයට අනුව “ලක්දනවි” සහ වින්ඞ්ෆෝස් සමාගම් දෙක වසර විස්සක කාලය තුළ විදුලි බල මණ්ඩලයට විදුලිය අලෙවි කරන මිල ගණන් මෙසේය.
ලක්දනවි ඒකකයකමිල රු. වින්ඞ්පොර්ස් ඒකකයක මිල රු.
2
වසර
24.28
24.04
5 වසර
24.09
23.61
10 වසර
23.85
23.08
15 වසර
22.76
20.77
20 වසර
22.76
20.77
මේ අනුව පෙනී යන්නේ “ලක්දනවි” සමාගමට වඩා අනෙක් සමාගමේ මිලගණන් අඩු බව පෙනේ. එමෙන්ම මෙම මිල ගණන් සම්පාදනය කර ඇත්තේ මේ ආයතන දෙක විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් සංඛ්‍යා ලේඛන අනුවද වේ.
-රාවය-
Lanka Newsweek © 2024