Friday 22nd of October 2021

English Tamil
Advertiesment


රාජ්‍ය කාරක රවී රටම කළඹයි..!


2019-07-02 5670

ජනපතිට-අගමැතිට බේරීමක් නැහැ..!

දරු දැරියන්ට අන්තිමයි..!

අපරාධකරයිගෙන් බන්ධනාගාර-රෝගීන්ගෙන් රෝහල් පිරෙයි..!

 ජ්‍යෝතිෂ්‍ය  විද්‍යාඥ

(ආචාර්ය රෙක්ස් ගුණවර්ධන)

ශ්‍රී ලංකා කේන්දරයට අනුව රාජ්‍ය කාරක රවි ග‍්‍රහයා ගෝචර වනුයේ කටක ලග්නයේය.  එනම්, ඔහුට සතුරු ස්ථානයේය.බුධ සහ රාහු සමඟ යෝගවය. එසේම මෙම ස්ථානය රෝගකාරක ස්ථානයක් ලෙසද හැඳින්වේ.

මේ ග්‍රහ බල තත්ත්වය එතරම් සුභ සලකුණක් නොවේ.අපරාධකරයින්ගෙන්    බන්ධනාගාර රෝගීන්ගෙන් රෝහල් ද පිරී යන ග්‍රහ තත්ත්වයකි.  අපට අවශ්‍ය අලුතෙන් බන්ධනාගාර සහ රෝහල් තැනීම නොව තිබෙන එවායින් එකින් එක වසා දැමිමය. නමුත් ඉදිරියේදි සිදු වනුයේ තවත් බන්ධනාගාර සහ රෝහල් ඉදිකිරීමට නම් රටක් ලෙස ශ්‍රී ලංකාවේ අනාගතය ගැන තවත් කිනම් කතාද ?

පාසල්වල මුරකරුවන් පවා දු දරුවන්ට මත් කුඩු පුරුදු කරන තත්ත්වයකට පත් වීමට තරම් රට අද අන්ධකාරයට තල්ලූ වී හමාරය. මතුපිටින් කෙතරම්  අයිසිං දවටා  විචිත‍්‍රවත් කළත් රටේ ව්‍යුහය ඉතාම ඛේදනියය.

පුත‍්‍ර කාරක බුධ ද මෙසේ පාපී ග‍්‍රහයෙතු වී කටකයේ චලනය වීම අති භයංකරය.  දු දරුවන් නරක පුරුදුවලට සීග‍්‍රයෙන් ඇබ්බැහි වන ලකුණු පෙනේ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍යවලට සිය මව්පියන්ගේ බෙලි මිරිකා හෝ මුදල් ඉල්ලන ශ්‍රී ලංකාවක් ඉදිරියේදි නිර්මාණය වනු ඇත.

දු දරු පරපුර ඔළුව නැත්තන් සේ කි‍්‍රයාකරනු ඇත.මේ තත්ත්වයට රටේ අධ්‍යාපන ක‍්‍රමය පවා වග කිව යුතුය.  දු දරුවන්ගේ ඔළුව විනාශ කරනුයේ ඔළුව නැති අදාළ මැති ඇමතින් සහ බලධරයින් විසිනි. ඊට හේතුව කුඩා ළමුන්ට තරඟකාරිත්වයක් ඇති කර වෛරී මානසිකත්වයක් ඔවුන් තුළ රෝපණය කිරීමයි.

මේ තත්ත්වයේ අතුරු ඵල ලෙස දු දරුවන් මව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් දුරස්වීම වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි සිදු වන බව නොබියව ප‍්‍රකාශ කළ යුතුමය.එම නිසා පුත‍්‍ර කාරක බුධ රාහු සමඟ සංයෝගව පවතින මේ මොහොතේ දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය.

උදේ, හවස සහ රාති‍්‍රය පහන් වන තුරු බණ දෙසන සහ අසන රටක අපරාධවලින් නම් කිසිදු අඩුවක් නැති බව පෙනේ.  එදවස මිත්තණියන්ගෙන්-මුත්තණුවන්ගෙන්  බණ කතා සහ ආදර්ශවත් සුරංගනා කතා ඇසූ මුනුපුරු මිණිබිරියන්ම අද මෝල් ගහෙන් ගසා සිය මිත්තනියන්-මුත්තනුවන් මරණ තත්ත්වයකට පත්වී තිබීම කෙතරම් ශෝචනීයද ?

ගුරු-සඳු ධර්මස්ථානයේ ගමන් කරන මෙම අවධියේ බණ දෙසන ක්‍රමයේ වෙනසක් ඇති කළ යුතුය.හැමදාම අසපුවට,විහාරස්ථානයට,ආරණ්‍ය සේනාසනයට බණ ඇසීමටත් භාවනා කිරීමටත් එන්නේ එකම පිරිසකි.  එසේනම් අප ඒ සඳහා තෝරා ගත යුත්තේ එසේ නොඑන පිරිසය.

ධර්ම ප‍්‍රචාරක කටයුතුවලට නිතර විදේශ ගත වන භික්‍ෂූන් වහන්සේලා ගැන අපි දනිමු.  ඒ වාගේ මොවුන් ධර්මය ඇසීමට අප ළඟට එන්නේ නැති නම් ඔවුන් ළඟට අප යා යුතුය. හොද  නරක ධර්මානුකූලව කියා දිය යුතුය.ප‍්‍රායෝගික  කි‍්‍රයා කාරකම් ඇති කළ යුතුය.

පාසල්වල දු දරුවන්ට පාර්ලිමේන්තුව පෙන්වා අපහසුතාවයන්ට පත්කරනු වෙනුවට ඒ අයට බන්ධනාගාරවල දඬුවම් විඳින අයව දැකීමට සැලස්වීම කාලෝචිතය.ඒ ඔස්සේ එම දරු දැරියන්ට ජිවිතයට යමක් එක්කර දිය හැකිය.  එවිට දු දරුවන් වැරදි වැඩවලින් මිදෙනු ඇති අතර මව්පියන් සහ සහෝදර සහෝදරියන්ට ද අපරාධවල ආදීනව කියා දෙනු ඇත.ඒ කියන්නේ අප කළ යුත්තේ දැනට රටේ පවතින තත්ත්වය අනුව සලකා බලා  වැල යන පැත්තට මැස්ස ගැසීමය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වු බොහෝ පාලකයින් කළේ කේක් ගෙඩියට අයිසිංවලින් වැඩ කිඩ දමා ජනතාවට, ලෝකයාට අමුතු සුන්දරත්වයක් මවා පෙන්වීම පමණි.අන්තිමට ලෝකයා හමුවේ මුතු ඇටයක් වූ ශ්‍රී ලංකාව අමුතු ඇටයක් බවට පත් කොට ලෝකයා දෙපැත්තෙන්ම සිනහා ගැන් වුයේ ද මේ කියන පාලකයෝමය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කේන්දරයේත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරයේත් ග‍්‍රහ චලනයන් සහ පිහිටීම් එතරම් සුභවාදී බවක් නොපෙනේ.ජන විරෝධතා ඇතිවීමේ වර්ධනයක් විනා අඩුවක් නම් දක්නට නොලැබේ.

එසේම, මැති ඇමතිවරු පවා එකිනෙකාට එරෙහිව ගහ ගනුයේ මඩ බාල්දිවලින් නොව කන්ටේනර් පිටිනි.  ඒ අනුව ජනතාවට මොවුන් පමණක් නොව ශ්‍රී ලංකාවේ දේශපාලනය පවා එපා කරන තත්ත්වයකට පත් වනු ඇත.

 

Advertiesment