Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


බැසිල් නැතිව මහින්දට නැගිටීමක් නැත..!


2019-07-02 14340

බැසිල් රට යන්නේ අමනාපයෙන් ද..?

“ගෝඨා-බැසිල්”ගෝරිය “අනුර-චන්ද්‍රිකා”ගෝරියට සමානය..!

දේශපාලනයේදී මහින්ද හොඳ නළුවෙක් වුණාට දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් නොවේ..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

ජේ. ආර්.ගේ පවුලේ සොහොදර සහෝදරියන් 11ක් විය. ජේ.ආර්. මේ කාවවත් දේශපාලනයට ගාවගත්තේ නැත. ජේ.ආර්. නීති උපදෙස් සහ ඉන්දියාව සමග ගනුදෙනු කිරීම සඳහා විශ්වාසවන්ත රාජ්‍ය දුතයකු අවශ්‍ය වූ විට සිය සහෝදර රාජ්‍ය  නීතීඥ  එච්.ඩබ්ලිව්. ජයවර්ධනව ප්‍රයෝජනයට ගත්තේය. ජේ.ආර්. බලයේ සිටියදී ජේ.ආර්.ගේ සහෝදරයන් 11 දෙනාගෙන් මිනිස්සු දැන සිටියේ ඒ නම විතරය.

පවුල දේශපාලනයට යොදා ගැනීමේ ආදීනව ජේ.ආර් හොදින් දැනසිටි බව ජයවර්ධන  චරිතාපදානයේ සඳහන් වේ. බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය ලෙස සිටියදී 70 යුගයේ දරුවන්  උස් මහත් වී විදේශ අධ්‍යාපනය ලබා ලංකාවට ඇවිත් දේශපාලනයට ඇඟිලි ගසන විට මැතිනිය කවදා හෝ විනාශ වන්නේ පවුල තුළින් බව ජේ. ආර් තම සගයන්ට 74-75 තරම් ඈත කාලයේ කී බව ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වෙයි. ජේ.ආර්. දේශපාලනය කළේ තමන්ට ඥාති වූ රනිල්ගේ පියා  එස්මන්ඩ් සමගය. ජේ.ආර්. ඔහුව තම දේශපාලන සගයා කර ගත්තේ ඥාතිකම නිසා නොව දක්ෂකම නිසාය.

ප්‍රේමදාසත් දේශපාලනයට පවුල ලං කර ගන්න බය වුයේ මැතිනියට වුණ නස්පැත්තිය දෑහින් දැකළාය. ප්‍රේමදාස ජනාධිපති ධූරයේ සිටියදී 1989 මහ මැතිවරණයට ගම්පහින් තරග කළ ප්‍රකට ව්‍යාපාරික ඩන්කන් සල්ලි විසි කොට සජිත් ප්‍රේමදාස පළමුවරට වේදිකාවට ගෙන එන රැස්වීමක් සංවිධානය කළේය. ප්‍රේමදාස  මෙය දැන යකා නැංගේය.ඔහු ඩන්කන්ට හොදටම බැන වැදුනේය. එයින් පසු ප්‍රේමදාස යුගයේ සජිත්ගේ නමවත් අහගන්න ලැබුණේ නැත. ප්‍රේමදාස  දේශපාලනය කළේ සිරිසේන කුරේ සමගය.

චන්ද්‍රිකාගේ අම්මා මැතිනිය දේශපාලනය පවුල තුළට ගෙනවිත් කර ගත් විනාශය නිසාදෝ චන්ද්‍රිකාද දේශපාලනය කළේ පවුල අමතක කරලාය. ඇය ජනාධිපති කාලයේ දේශපාලනය කළේ ජි.එල්.-මංගල -එස්.බි. ලා සමගය.

මහින්ද දේශපාලනයේ හොද නළුවෙක් වුණාට හොඳ අධ්‍යක්ෂකවරයෙක් නොවේ. ඔහුගේ දේශපාලනයේ අධ්‍යක්ෂකවරයා බැසිල්ය.මහින්ද දේශපාලනය කරන්න බැසිල්ව තෝරා ගත්තේ සහෝදරකමට වඩා දක්ෂකමටය. 1970 මහ මැතිවරණයේ සිට මහින්දගේ චරිතයේ අධ්‍යක්ෂක බැසිල්ය. බැසිල් නැත්නම් මහින්ද කෙනෙක් නැත. හැබැයි මහින්ද කළ වරද බැසිල්ව දේශපාලන කරළියට ගෙන ඒමය.

මහින්ද ඒක කළේ, විපක්ෂයේ සිටියදී හෝ  ඇමති ධුරයක් දරද්දී බැසිල්ව තිරයෙන් පිටු පස තියා ගෙන දේශපාලනය කළ හැකි වුවත් ආණ්ඩුවක් කරද්දී පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ බැසිල් නැතිව දේශපාලනය කරන්න  දන්නේ නැති නිසාය. බැසිල්ව තිරය කඩා ගෙන එළියට ගත්තේ ඒ නිසාය. ටික කලකින් මහින්ද නාමල්වද දේශපාලනයට ගෙන ආවේය.1989 සිට චමල්ද දේශපාලනයේ චරිතයකි. දැන් ගෝඨාභයව දේශපාලනයට ගෙන ඒමට මහින්දට වඩා මහින්ද එක්ක නැගිට්ට කණ්ඩායමට ඕනෑ වී තිබේ.

මහින්ද කැමතිම සහෝදරයා ගෝඨාභය විය හැකිය. මහින්ද ගෝඨාභයව දේශපාලනයට ගෙන එන්න හීනෙන්වත් හිතපු අයෙක් නොවේ. මහින්ද ගෝඨාභය එක්ක හමුදාවේ ප්‍රශ්න කතා කළා මිස දේශපාලනය කතා කරන්නේ නැත. එත් දැන් ගෝඨාභයව දේශපාලනයට ගෙන එන්න  මහින්ද සුළඟින් නැගිටපු කට්ටිය දත කන කෑමට මහින්ද ලොකු අකරතැබ්බයකට මුහුණ දී සිටි.

ගෝඨාභය දේශපාලනයට එන්න හදන්නේ 70-77 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලයේ  මැතිනියගේ වැඩි මහල් දියණිය සුනේත්‍රාගේ සැමියා කුමාර් රූපසිංහ ජන වේගය නමින් වෙනම කල්ලියක් හදා ගෙන ආ ලෙසටය. මේ ජන වේග කල්ලිය ආණ්ඩුව පෙරළා  ඩැහැගැනීමේ කුමන්ත්‍රණයක් කරනවා යැයි ජේ.ආර්. අනුරව කුලප්පු කළේය. මැතිනියගේ පවුලේ පළමු ආරවුල ඒකය. අනුරට තටු ඇවිත් ආණ්ඩුව සියතට ගන්න ගියේ ඉන් පසුවය.

ගෝඨාභයත් වියත් මඟ , එළිය, වැනි සංවිධාන හදා ගෙන එන්නේ අද රටේ ආණ්ඩු බලයට සමාන “මහින්ද” බලය සියතට ගන්නටය. මේ මොහොතේ මහින්ද බලය තිබෙන්නේ මහින්ද අතේවත් නොව බැසිල් අතෙහිය.

මහින්දගේ ආශීර්වාදය මැද බැසිල් පොහොට්ටුව හැදුවේ ඒ බලය පෙන්වන්නටය. ගෝඨාභය හදන්නේ වියත් මඟ සහ එළිය හරහා ඒ බලය සියතට ගන්න පුළුවන්ද කියාය. ඔහු පොහොට්ටුවේ පළාත් පාලන ඡන්ද  ව්‍යාපාරය මඟ හැර රට ගියේ පොහොට්ටු බලය තුළ ඔහුට ඉඩක් නැති නිසාය.

දැන් මේ “බැසිල්-ගෝඨා” ගෝරිය හරියට මැතිනිය 1977 පැරදිලා ගෙදර ගියාම ගෙදරින් පටන් ගත්ත අනුර චන්ද්‍රිකා ගෝරිය වගේය. පසු ගියදා මහින්ද ගෝඨාභයව පොහොට්ටු කාර්යාලයට අරන් ඇවිත් කිව්වේ “මගේ බලය තියෙන්නේ මෙතැන...   උඹ මෙතැන හිටපන්...අරහෙ මෙහෙ දුවන්නේ නැතිව” කියාය. බැසිල් පොහොට්ටුවෙන් පිට මහින්දගේ බලය කඩනවාට කැමති නැත.

ඔහුට ඒකාබද්ධ විපක්ෂය රුස්සන්නේ නැත්තේ ඒකය. ඔහු ගෝඨාගේ “වියත් මඟ” “එළිය” සංවිධානවලටත් කැමති නැතිවා වගෙය. හැබැයි ගෝඨාභය යළිත් එළිය සංවිධානයේ රැස්වීමක් නුවර එළියේ සංවිධානය කළේය.ඔහු මෙම රැස්වීමේදී අපුරු කතාවක් කිවේය. ඔහු කිවේ පැත්තකින් එළිය සංවිධානය රට දැනුවත් කරද්දී වියත්මඟ විද්වතුන් එකතු කරද්දී තවත් පැත්තකින් පොහොට්ටුව ජනතාව එකතු කරන බවයි.

ඒ වගේම ඔහු කියන්නේ වියත් මඟ විද්වතුන් එකතු වෙලා සකස් කරන සැලසුම් පොහොට්ටුව ක්‍රියාවට නංවන බවට සහතික වන බවය. ඒ කියන්නේ දැන්  මහින්ද බලය තියෙන්නේ පොහොට්ටුවේ නොවේ. විමල් වීරවංශගේ වෙබ් අඩවියට අනුව ගෝඨා කියන්නේ පැත්තකින් “එළියය” තවත් පැත්තකින් “වියත් මඟ”  තව පැත්තකින්  “පොහොට්ටුව” මහින්ද මැදින් එනවා කියලාය.

ඒ කියන්නේ මහින්ද බලය දැන් බැසිල් සහ  ගෝඨා බලය අතර බෙදිලාය.බැසිල් විදේශගත වන්නේ මේ අතරතුරදීය.බැසිල් විදේශ ගත වන විටම කෙහෙළිය රඹුක්වැල්ල  ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක කියන්නේ පළාත් පාලන ජයග්‍රහණයට පසු පොහොට්ටුව දැන් පල්ලම් බැහැලා කියාය. මන්ත්‍රී ලැයිස්තු  නම් කරද්දී වැරදි සිදු වුණා යැයි ඔහු චෝදනා කරන්නේ බැසිල්ටය.

බැසිල් විදේශ ගත වෙන්න ඉන්නේ මේවා බලා ගෙන ඉන්න බැරි නිසා යැයි  කවුරු හෝ කියනවානම් වැරදි නැත. බැසිල් විදේශ ගත වීම ආණ්ඩුවට සුභ ආරංචියකි. ආණ්ඩුවේ පොදු සතුරා මහින්ද නොව බැසිල්ය.ආණ්ඩුව බැසිල්ව දෙපාරක්ම හිර ගෙදර යැවුවේ ඒ නිසාය. මහින්ද සුළඟින් මහින්ද නැගිට්ටේ දෙපාරය. එකපාරක් ගෝල් ෆේස් මැයි රැළියෙනි. දෙවනිපාර  2018 පුංචි ඡන්දයෙනි. මේ දෙපාරම මහින්දව නැගිට්ටුවේ බැසිල්ය. බැසිල් නැතිව ගෝඨා නැඟිටියිද කියන්න දන්නේ නැත. මහින්ද නැගිටින්නේ නැති බව නම් ඒකාන්තය.          

ගුරුදා විග්‍රහය

Advertiesment