Friday 23rd of April 2021

English Tamil
Advertiesment


ලෝක උරුමය ගෙවන දේශපාලන කරුමය..!


2019-07-02 2808

කොටු පවුරයි-ක්‍රීඩා පිටියයි එක්ක දේශපාලන සූදු කෙළලා..!

උරුමය කරුමයක් කරන දේශපාලන කරුමක්කාරයෝ කවුද..?

 

(ජයකාන්ත ලියනගේ සහ සුජිත් මංගල ද සිල්වා)

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට යනවාය කියන කාරණය හේතුවෙන් රටේ  මහජන නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන අතර එම කතිකාව මේ වන විට රටේ ජාතික ප්‍රශ්නය බවට පත්ව තිබේ.

වසරකට අධික කාලයක් රටේ බාල මහළු ලොකු කුඩා කා අතරත් ජාතික මාතෘකාව බවට පත්ව තිබූ මහ බැංකු බැදුම්කර මගඩිය යට පත් කරන්නට කරලියට ගෙනා මරණ දඩුවම වගේම “නිව්යෝක් ටයිම්ස්” පුවත්පත් වාර්තාද අබිබවා ගාල්ල ක්‍රීඩාංගණය පිළිබද කතාව මේ වන විට පෙරට පැමිණ තිබේ.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට  රජයට බල කරමින් සෙනසුරාදා (21) ගාල්ල නගරයේදී උද්ඝෝෂණයක්ද පැවැත්විණ. ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණයට දේශපානනඥයින්, ක්‍රීඩකයින්, ක්‍රීඩා ලෝලීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට රජය ගෙන තිබූ තීරණය හකුළා ගන්නට සිදු වූයේ මහ ජන විරෝධය නිසාවෙන් බව රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂයේ සිට පසුගියදා ඒකාබද්ධ විපක්ෂයට එක් වූ චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ක්‍රීඩාංගණය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවේ කරන අරගලයන් ප්‍රමාණවත් නොවන්නේ නම් “යුනෙස්කෝ” සංවිධානය ඉදිරිපිටට ගොස් හෝ අරගල කරන බවයි. දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රීඩාංගණය ඉවත් කරනවාය යන කතාව ආරම්භ වන්නේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මීට සති දෙකකට පමණ පෙර කරන ලද ප්‍රකාශයකිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පින්නදූව ප්‍රදේශයට ගෙන යන බවත් ඒ සදහා අක්කර 50 ක භූමියක් වෙන් කර තිබෙන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය. ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ අවිධිමත් ඉදි කිරීම් හේතුවෙන් ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවධානමක් මතුව තිබෙන බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ගාල්ල ක්‍රීඩාංගණය වටා අවිධිමත්ව ඉදි කර ඇති ගොඩනැගිලි ඉවත් කරන බවත් එවිට එය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලෙස පවත්වා ගෙන යා නොහැකි බැවින් පාසැල් සිසුන්ගේ ක්‍රීඩා අවශ්‍යතාවයන් සදහා එම ක්‍රීඩාංගනය වෙන් කරන බවත් වජිර අබේවර්ධන මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සමග සෙත්සිරිපායේදී අඟහරුවාදා (17) පැවති සාකච්ඡාවේ තීරණත් සමග ගාල්ල ක්‍රීඩාංගණය රැක ගැනීමේ අරගලය වඩාත් උත්සන්න විය.

ඉදිරි දින දෙක තුන ඇතුළත ගාල්ල ක්‍රීඩාංගණයේ සියලු ගොඩනැගිලි කඩා ඉවත් කිරීමටත් ක්‍රිඩාංගණය ගාල්ල නගරයට කිලෝ මීටර් 15 ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට ගෙන යෑමටත් එම සාකච්ඡාවේදී තීරණය වී තිබුණි.

මෙම සාකච්ඡාවේදී ජේ ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම තීරණය මීට පෙර ගන්නා ලද්දක් බවයි. අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබූ බවත් සිය අමාත්‍යාංශයට සාකච්ඡාවක් ලබා දී අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම පිළිබදව තීන්දුවක් ගන්නා ලෙසට උපදෙස් දුන් බවත් ඒ මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණි. ගාලු ක්‍රීඩා පිටිය පරණ තිබූ විදියට පවත්වා ගෙන යන බවද ඔහුගේ අදහස විය.

මෙම සාකච්ඡාවට එක්වූ ගාල්ල ක්‍රීඩාංගණයේ පරිපාලනය භාරව සිටින බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිරියටත් පවත්වා ගෙන යා යුතු බවකි.

අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවටත් තමා සහභාගි වූ බවද මේ ක්‍රියාව  ජාතික අපරාධයක් බවද ඔහු ප්‍රකාශ කළේය. අරලියගහ මන්දිරයේ සහ සෙත්සිරිපායේ පැවති රැස්වීම් දෙකේදීම තමා දැක්වූ අදහස්වලට සාධාරණයක් ඉටු නොවූ බවද සෙත්සිරිපායේ රැස්වීමේදී ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මහජන උද්ඝෝෂණ වඩාත් ප්‍රබල වූයේ මෙම රැස්වීමේ තීරණත් සමගිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිදිදු තීන්දුවක් ගෙන නොමැති බවයි. ගාලු කොටුව සහ ක්‍රීඩාංගනයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම් ඒ හේතුවෙන් ගාල්ල නගරය සහ කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බව යුනෙස්කෝ ආයතන ශ්‍රී ලංකාවට  දන්වා තිබේ.

ඒ අනුව ගාලු කොටුවේ සහ ඒ අවට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නියෝග කර ඇති බවද දැන ගන්නට තිබේ. වජිර අබේවර්ධන මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය බවද දැන ගන්නට තිබේ.

මේ ආකාරයට ක්‍රීඩාංගණයේ එක ගොඩනැගිල්ලක්වත් කඩන්න ඉඩ නොදෙන බව ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ප්‍රකාශ කරයි. මේ ගොඩනැගිලි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව ගාල්ල මහ නගර සභාව අනුමත් කර තිබෙන බවද ඒ මහතා සදහන් කරයි.

සැලසුමට පිටින් යම් ඉදිකිරීමක් කර ඇත්නම් කඩා ඉවත් කිරීම ගැන විරුද්ධ නොවන අතර බලහත්කාරයෙන් ගොඩනැගිලි කඩන්න හැදුවොත් ඊට එරෙහිව නීතී මාර්ගයෙන් කටයුතු කරන බව ද ඔහු අවධාරණය කර සිටියි.

සමහරු හිතන් ඉන්නවා නම්  ක්‍රීඩා පිටිය මේ ස්ථානයෙන්  ඉවත් කරලා, මේ වටිනා ඉඩම් ඒ අයගේ හිතවතුන්ට ලබා දෙන්න ඊට කිසිසේත් ඉඩ නොතබන බව ද නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය. ගාල්ල මහා නගර සභාවට අයිති ක්‍රීඩාංගණයේ ගොඩනැගිලි ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඇත්තේද ගාල්ල මහා නගර සභාවට බවද නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව ක්‍රීඩාංගණ ඕනෑම ස්ථානයක හදාගත්තට  ගැටලුවක් නොමැති නමුත් ගාල්ල ක්‍රීඩාංගණය ගාල්ල නගර සභාවට අයිති නිසා ක්‍රීඩාංගණය රැක ගැනීමට  නිරතුරුව බැඳි සිටින අතර ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නගර සභාවට ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බවද නගරාධිපතිවරයා දැඩිව කියා සිටියේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් බැවින් එම මණ්ඩපය ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය නිර්දේශ කර ඇති බවද දැන ගන්නට තිබේ. හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කටයුතු කළ අවධියේ ගාල්ල ක්‍රිඩා මණ්ඩපය ඉදි කෙරුණූ අතර පසුව  මහින්ද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය ලෙස නම් කෙරුණි.

ගාලු කොටුව ලෝක උරුමයට හානියක් වන මහින්ද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය කඩා ඉවත් කිරීමට මීට පෙර යෝජනා කෙරුණද මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඊට යොදා තිබීම නිසා එම ක්‍රියා මාර්ගය නොගැනුණු බවද නාගරික සංවර්ධන අධිකාරියේ වාර්තාවේ  සඳහන්වේ.

යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති ගාලු කොටුව සහ ඒ අවට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජුනි 24 දා ගාල්ලේ පැවති සාකච්ඡාවකදීද අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා ඇත. ඔහු එහිදීද මෙම අනවසර ගොඩනැගිලි ඉවත් කළ යුතු බව පෙන්වා දී තිබේ. ඇතැම් විට ඔහුගේ මෙම ඉක්මන් තීරණයට කඩා ඉවත් කළ යුතු ප්‍රධානතම ගොඩනැගිල්ල මහින්ද රාජපක්ෂ නමින් නම් කර තිබීමද හේතු වූවා විය හැකිය.

ගාල්ල අධ්‍යාපන කලාපයේ ළමුන්ට සහ එහි ජනතාවට ගාල්ල ක්‍රීඩාංගනය ලැබිය යුතු බවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එහිදී අදහස් දක්වා ඇත. ගාල්ල දිස්ත්‍රික්කයට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් අවශ්‍ය බැවින් අධි වේගී මාර්ගයෙන් පිටත පින්නදූව ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට බලාපොරොත්තුවන බවත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, මහජන ක්‍රීඩාංගනයක් බවට පත් කරන බවත් අමත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ඇතැම් විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගාල්ලේ කළ වෙනස්කම් ඉවතලා පෙර තිබූ තත්ත්වයට ගාල්ල ක්‍රීඩාංගණය ගෙන ඒමේ අවශ්‍යතාවය වජිර අබේවර්ධන මහතාට තිබුණාද විය හැකිය.

ඒ සදහා ඔහුට මීට බොහෝ කලකට පෙර ලැබුණ යුනෙස්කෝ වාර්තාව උදව් වූවාද විය හැකිය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය මෙම ස්ථානයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ස්ථානයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කරන බවට වූ අදහස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ 2016 වසරේදීය. ඇමතිවරයා එහිදීද කියා සිටියේ ප්‍රදේශයේ පාසල් දරුවන්, තරුණයන් ඇතුළු පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය යොදා ගත නොහැකි තත්වයක් යටතේ ගාලු ජනතාවට අසාධාරණයක් වී ඇති බවය.

ඉදිරියේදී ගාල්ල නගරය සංචාරක පුරවරයක් ලෙස නවීකරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් ගාල්ල නගරයේ සහ ගාලු කොටුවේ පිහිටි සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඊට අමතරව ගාලු කොටුවේ පිහිටා තිබෙන සියලුම රජයේ ආයතනද වෙනත් ස්ථාන කරා රැගෙන යාමටද ඉදිරියේදී කටයුතු කරන බවද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

ගාල්ල මහ නගර සභාව විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සදහා ගාල්ල ක්‍රීඩා පිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බදු ඔප්පුවකින් පවරා දෙනු ලැබුවේ 1998 වසරේදීය. ගාල්ල මහ නගර සභාව බදු දීමනාකාර පාර්ශ්වය ලෙස ද බදු ගැණුම්කාර පාර්ශ්වය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අදාළ ගිවිසුමට අත්සත් තබා ඇත්තේ වසර 30ක කාලයක් සඳහාය.

මෙම ගිවිසුමට අනුව වසර 30 කාලය අවසන් වන්නේ 2028 අප්‍රේල් 02 දාය. ප්‍රධාන කොන්දේසි 27 කින් සමන්විත මෙම ගිවිසුමේ කොන්දේසි අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට අමතරව ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ තරග සඳහා ද ක්‍රීඩාංගණය ලබා දිය යුතුය. ඊට අමතරව ගාල්ල මහ නගර සීමාව තුළ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ හෝ රජයේ අනුග්‍රහය ලබන පාසල්වල මලළ ක්‍රීඩා උත්සව සඳහාද ක්‍රීඩා පිටිය ලබා දිය යුතුය.

ගාල්ල දිස්ත්‍රික්කයද අයත් දකුණු පළාත සතුව ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් ඇත. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඒවා වේ. සූරිය වැව ක්‍රීඩාංගණයේ මේ වන විට ක්‍රිකට් තරග නොපැවෙත් වෙන අතර අධික පිරිවැයක් දරා එවැනි ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි විවේචනද එල්ල විය.

1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත් පත් කර ගත් පෘතුගීසි ජාතිකයන් විසින් ප්‍රථම වරට ඉදි කරන ලද පෞරාණික ගාලු කොටුව 17 වෙනි සිය වසයේ පැමිණි ලන්දේසි ජාතිකයන් විසින් තව තවත් පුළුල් කරනු ලැබීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සුළු ආකෘතික වෙනස්කම් කර නවීකරණය කරන ලද ගාලු කොටුව දැනට ශ්‍රි ලංකාවේ ජිවමානව පවතින පැරණිම ලෝක උරුම නගරයකි.

1974 වසරේදී පුරා විද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරුණු ගාලු කොටුවේ ඓතිහාසික වැදගත්කම හේතුවෙන් 1988 වසරේදී එක්සත් ජාතින්ට අනුබද්ධ යුනෙස්‌කෝ සංවිධානය විසින් එය ලෝක උරුම ස්මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව ගාල්ල කොටුව ලෝක උරුම නගරය ඇතුළත පිහිටි සියලුම නිවාස, ගොඩනැගිලි ඇතුළු සමස්ත ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරක වේ. එම ගොඩනැගිලි නවීකරණය කිරිමට හෝ නව ඉදිකිරිම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව යන රාජ්‍ය ආයතනවලින් පූර්ව අවසරයක් ලබා ගත යුතුය

ගාල්ල නගරයේ අනවශ්‍ය සියලු ඉදි කිරීම් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. ඒ වත්මන් රජයේ “Create Gall” නගර සැලැස්ම යටතේය. ගාලු නගරය සංචාරක පුරවරයක් බවට පත් කිරීම හා නගරය පුළුල් කිරීමේ අරමුණෙන් මෙම අනවශ්‍ය ඉදිකිරීම් සියල්ල ඉවත් කරනු ලබන බව රජය කියයි. රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යවරුන් හා නිළධාරීන් කිහිප දෙනෙකු එක්ව මෙම ඉදිකිරීම් ඉවත් කිරීමේ තීරණය ගෙන තිබෙන බවද දැනගන්නට තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කරන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවයි. ගාලු කොටුව ආශ්‍රිත මීටර් 400 ක් දුරින් පිහිටි පුරා විද්‍යා සීමාවේ සියලු ඉදි කිරීම් ඉවත් කරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාංගණය පමණක් නොව ගාල්ල පොලීසිය, ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොළ හා තවත් ඉදි කිරීම් රැසක් ඉවත් කිරීමට සිදු වන බවද දැන ගන්නට තිබේ.

1998 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම ආරම්භ කරන ලද ගාල්ල ක්‍රීඩාංගණයේ මේ වන විට ටෙස්ට් තරඟ 31ක් සහ එක්දින තරග 06 ක් පවත්වා ඇත. එම ටෙස්ට් තරඟ 31 න් තරඟ 18 ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර තරඟ 06ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

මේ අතර එළඹෙන නොවැම්බර් මස 10 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා ටිකට් පත් තුන්දාහක් (3000) පමණ දැනටමත් අලෙවි වී තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

ගාල්ලේ දු දරුවන්ට  අනෙකුත්  ක්‍රීඩා සදහා අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගණවල අඩුවක් මේ වන විට නොමැති බවද ගාල්ලේ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනාගේ මතව වි තිබේ.

අන්තර් ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩා පිටියක්  ගොඩනැගිය හැකි ස්ථානයක් පවා ගාල්ල නගරය ආසන්නයේම තිබෙන අතර  පාපන්දු ක්‍රීඩාව සදහා දැනටමත් හොද ක්‍රීඩා පිටි තිබෙන බවද ඔහු කියති. රගර් ක්‍රීඩාව සදහා ගාල්ලේ කන්දෙවත්ත සහ කොග්ගල ක්‍රීඩා පිටි දෙකක්ද මලළ ක්‍රීඩා සදහා දඩල්ලේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක්ද තිබෙන බව ඒ අය පෙන්වා දෙති.

දැල් පන්දු ක්‍රීඩාවට ගාල්ල කොටුවේත්, බාස්කට් බෝල් සහ අත් පන්දු ක්‍රීඩා සදහා ගාල්ලේ සෑම පාසලකමත් හොද තත්වයේ ක්‍රීඩා පිටි තිබෙන තිබේ. සැහැල්ලු පන්දු ක්‍රිකට්, ක්‍රීඩා තරග, නිවාසාන්තර ක්‍රීඩා, කානිවල්, සංගීත ප්‍රසංග ආදී සියල්ල සදහා ගාල්ල සමනල ක්‍රීඩාංගණය භාවිතා කළ හැකි බව පෙන්වා දෙන ක්‍රීඩා ලෝලීන් කියා සිටින්නේ   ක්‍රිකට් ක්‍රීඩා කිරීමට එවැනි ස්ථානයක් නොමැති නිසා  ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය රැක ගත යුතු බවය.

මෙම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය හැරුණ විට පාසල් ක්‍රිකට් තරඟයක් පැවැත්විට හැකි ක්‍රීඩාංගණයක් ඇත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයට පමණි. ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් සදහා මෙම ක්‍රීඩාංගණ දෙක ලබා ගැනීමට නොහැකි අවස්ථාවලදී යන්නේ සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයටය. පසුගිය පාසල් වාරයේ ගාල්ල රිච්මන්ඩ් සහ ඇලෝසියස් විද්‍යාල අතර ක්‍රිකට් තරඟය පවා පවත්වා තිබුණේ සුරියවැව ක්‍රීඩාංගණයේ දීය. එම නිසා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට පෙර අලුතින් සාදනවා යැයි කියන ක්‍රීඩා පිටිය සාදා දෙන ලෙසද ගාල්ලේ ජනතාව ඉල්ලා සිටිති.

කෙසේ වෙතත් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආරක්ෂා කර ගැනීමේ ජනතා අරගල වැඩිවත්ම අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විදේශ රටක සිට ඉරිදා (22) මාධ්‍ය නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ගාල්ල මහජන ක්‍රීඩාංගනය කිසිසේත්ම වෙනස් නොකරන බවත් සමාජ ජාල ඔස්සේ සඳහන් කර ඇති ආකාරයට ගාල්ල ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය මතයන්ට නොරැවටෙන ලෙසත්ය.

ලෝක උරුම ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු කරන විට නාගරික සංවර්ධන අධිකාරිය, අදාළ පළාත් පාලන ආයතනය එනම් ගාල්ල මහ නගර සභාව, ලෝක උරුමයේ නියෝග ක්‍රියාත්මක කරන ගාලු උරුමය පදනම, (යුනෙස්කෝ සංවිධානය ලබා දී ඇති නිර්ණායක අනුව අදාළ අනුමැතිය ලබාදීම සඳහා) ආදියෙන් අනුමැතිය ලබා ගත යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

එය එසේ සිදුවී නොමැති බව එවකට නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා ද පිළිගෙන ඇති බවත් අනවසර ඉදිකරීම් සඳහා අධිකරණයේ නඩු පවරා ඇති අතර එවකට පැවැති රජය විසින් ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ කර ඇති  නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් අදාළ නිවේදනය මගින් ඒ මහතා පෙන්වා දී තිබේ.

ගාල්ල ක්‍රීඩාංගණය දින දෙකක් ඇතුළත කඩා ඉවත් කරන්න යැයි වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි ඇතැම් මාධ්‍යවල වාර්තා පළවී තිබු බවත් එය නිවැරදි කරන ලෙස මෙම නිවේදනය මගින් අමාත්‍යවරයා ඉල්ලීමක් ද  කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ තීරණය වජිර අබේවර්ධන මහතා සහ රජය විසින් හකුළා ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රශ්නය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් අතර ද ගෙවුණු සති අන්තයේදී අරලිය ගහ මන්දිරයේදී සාකච්ඡා කෙරිණ.

“ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රශ්නය ආණ්ඩුව හැටියට අප නිවැරදිව කළමනාකරණය කරන්න ඕනෑ”යැයි නවීන් දිසානායක එහිදී අගමැතිවරයාට කියා සිටියේය.

“මම ගාල්ලේ ගිහින් කතා කළේ කොටුව ඇතුළේ ප්‍රශ්න ගැනයි. ගාල්ලට ක්‍රිකට් ඇතුලු සියලු ක්‍රීඩාවලට අලුත් ක්‍රීඩා සංකීර්ණයක් හදල “මහින්ද-රිච්මන්ඩ්” වගේ පාසල්වලට වත්මන් ගාලු පිටිය දීම ගැනයි එදා කතා වුණේ. මේ කියන ක්‍රීඩා සංකීර්ණය ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ සැලසුම් කළ එකක්” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී විස්තර කර ඇත.

“ක්‍රීඩා මණ්ඩපය උසට හදපු නිසා ගාලු කොටු පවුර වැහුණා. ඒක වෙනස් කරන්නෙ නැති නම් කොටු පවුරට ඇති ලෝක උරුම ගෞරවය නැති වේවි කියලා යුනෙස්කෝව අනතුරු අගවනවා. 1998 සිටම මේ ක්‍රීඩාංගනයේ ටෙස්ට් ක්‍රිකට් සෙල්ලම් කළේ මේ ප්‍රශ්නයට තුඩු දී තිබෙන ක්‍රීඩා මණ්ඩපය තිබිල නෙවෙයි.

එදා මේ ක්‍රීඩාංගනය සහ මණ්ඩපය ඉදි කළ අවස්ථාවේදීම මේ හේතුවෙන් ගාලු නගරය සහ කොටු පවුර ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිදු වන බවට “යුනෙස්කෝ” සංවිධානය ඒ මොහොතේම අනතුරු ඇඟවූ අතර මේ ඉදිකිරීම් වහාම ඉවත් කර ගන්නැයි දැනුම් දුන්නා.

නමුත් ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගෙන ලෝක උරුමයයි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියයි ආරක්ෂා කර ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයකට නොගොස් මහින්ද රාජපක්ෂලා කළේ මේ ප්‍රශ්නයට දේශපාලනය ඈදා ගනිමින් සිය සිය දේශපාලන බලය සහ හයිය පෙන්වීමට එම ක්‍රීඩාංගනය මහින්ද රාජපක්ෂ ලෙස නම් කර ක්‍රීඩා මණ්ඩපයේ ඔහුගේ සුවිසල් පිංතුරයක් ගසා අනියම් බලපෑමක් කිරීමයි.

ක්‍රීඩාංගනයට මහින්ද රාජපක්ෂගේ නම යොදා මණ්ඩපයේ ඔහුගේ පිංතුරයක් ගැසූ වේලාවේ මේ ක්‍රීඩාංගනය සහ මණ්ඩපය කඩා ඉවත් කරලා ගාල්ලේ අලුත්ම ජාත්‍යන්තර  ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කළ යුතු බවට  යෝජනා කරලා තිබුණේ ගෝඨාභය රාජපක්ෂයි. තියෙන්නේ.

ඒ අනුව මේ ඔදුදුවලා තිබෙන්නේ රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නේ..! අපි උත්සහ කරන්නේ ක්‍රීඩා පිටියයි-කොටු පවුරයි දෙකම රකින්නයි..ඒ වගේම ගාල්ලට වෙනම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයකුත් ඕනෑ...” යනුවෙන්  වජිර අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් උද්ගත වී තිබෙන තත්ත්වය පැහැදිළි කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ. මෙ ගයන්ත කරුණාතිලකගේද පොදු මතය එය විය.

එහිදී දයා ගමගේ ඇතුළු පිරිසක් කියා ඇත්තේ “රාජපක්ෂ පවුල විපක්ෂයට වැටිලත් ඒ අයගේ  පවුලෙ ප්‍රශ්න පවා විසදන්න සිද්ධ වෙලා තිබෙන්නේ අපිට නේ...” යනුවෙනි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළට ඔසවා තබන ගාලු කොටු පවුර ලෝක උරුමයද රැක ගත යුතුය. සංචාරක ව්‍යාපාරය වඩාත් වැඩි දියුණු කිරිමට ගාලු කොටු පවුර වගේම ජාත්‍යන්තර ක්‍රිකට් තරගත් මහෝපකාරී වන බවද පිළි ගත යුතුය. එම නිසා දේශපාලන පාට කණ්නාඩි හරහා බැලීමකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාංගණයත් ලෝක උරුමයත් යන දෙකම රැක ගත හැකි ක්‍රම වේදයකට රට තල්ලු කිරීමට දේශහිතෛෂීන් පෙරමුණ ගත යුතුය.

   

Advertiesment