Tuesday 20th of April 2021

English Tamil
Advertiesment


ගාලු කොටුවේ ඔරලෝසු කණුව ලන්දේසීන්ගේ ද සිංහලයින්ගේ ද ?


2019-07-02 2463

(දේ .සූ.ද .සොයිසා)

ගාල්ල කොටුව මත ඉදිව ඇති ඔරලෝසු කණුව දකින අද අප රටේ සිටින බොහෝ දෙනා මෙම ඔරලෝසු කණුව ලන්දේසීන්ගේ සේවාවක් ලෙස එම ගොඩට දමා සලකන්නට පුරුදුව සිටිති. ගාලූ කොටුවේ සැකසුණ කළුගල් බැම්මට සමානව එහි පෙනුමට හානියක් නොවන සේ ඉදිවුණ මෙම ඔරලෝසු කණුව අද ගාලූ කොටුව ලොවට හඳුන්වන සංකේතය බඳු ය. අද වෙළෙඳ දැන්වීම්වලට ද, මැතිවරණ සමයේ පෝස්ටර්වලට ද, ගාලූ කොටුව හා ඔරලෝසු කණුවේ සේයා රූ යොදා ගන්නා පිරිස ද මෙම ඔරලෝසු කණුව ඉදිවූයේ කුමන කාලයේ ද? කුමක් සඳහා ද? කවුරුන් විසින් කරවන ලද්දේ ද? යන්න නොදැනීම ඉතා විශාල අඩුපාඩුවකි. මේ නිසා එහි අතීත කතාව ද නිර්මාණය කරවූ පුද්ගලයා ද හඳුන්වා දෙන්නට මෙම ලිපිය ලියන්නට අදහස් කළෙමි.

දහනව වැනි සියවසේ අවසාන කාර්තුවේ ගාලූ දිසාවේ විශේෂයෙන්ම ගාලූ නගරයේ ජනතාවට වෙද හෙදකම් කළ ජනතා ප‍්‍රසාදය දිනාගත් ඉංගී‍්‍රසි ජාතික වෛද්‍යවරයෙක් විසූහ. පීටර් ඩැනියෙල් ඇන්ටනීස් යන නාමයෙන් හඳුන්වන ලද මෙතුමා සිය සේවය නිමා කර සමුගෙන යෑම සම්බන්ධයෙන් අනුස්මරණය කිරීමට කුමක් කරමුදැයි ගාල්ලේ ජන ප‍්‍රධානීන් සාකච්ඡ කළහ. ඒ සඳහා ඔරලෝසු කණුවක් ඉදි කිරීමට සුදුසු යැයි යෝජනා වූයෙන් එම ඔරලෝසු කණුව තැනවීම සඳහා වියදම් ලෙස රුපියල් තුන්දහස් පන්සියයක් යන බවට පසුව ඇස්තමේන්තු සකස් විය. මෙම මුදල ගාලූ නාගරික ජනතාව ගෙන් එකතු කර ඉදි කිරීමට යළි සැලසුම් කළහ. මේ අවස්ථාවේ දී ඒ සඳහා යන බර පැන සඳහා වියම් වන මුදල් එකතු කිරීම අවශ්‍ය නොවන බව පෙන්වා දුන් වාසලමුදලි සැම්සන් ද රාජපක්‍ෂ මැතිතුමන් වැය වන මුදල තමා විසින් දරන බව සභාවට දැන්වීය. ඒ අනුව ගාලූ කොටුවේ ඉදිවුණ එම ඔරලෝසු කණුව එම කොටුවේ පෞරාණික භාවයට හානියක් නොවන ලෙස නිමා කර එය දොස්තර පීටර් ඩැනියෙල් ඇන්ටනීස් මහතා විසින් මීට වසර 127කට පෙර විවෘත කරන්නට යෙදී ඇත.

මෙය ඉදි කරවන ලද්දේ සැම්සන් රාජපක්‍ෂ මැතිතුමන් විසින් බව ඔරලෝසු කණුවේ පාමුල ආසන්නයේ සවිකර ඇති සිහිවටන පුවරුවෙන් සනාථ වේ. දැනට මැකී ගෙන යමින් පවතින දුර්වර්ණ වී ඇති එම පුවරුවේ ඉංගී‍්‍රසි බසින් ලියවුණ සටහන මෙසේ ය.

This clock is the gift of Samson D. Abrew   Rajapakshe J.P. of Kosgoda Mdeccel xxxii(1883).

 මෙලෙස ගාලූ දිසාවේ සිංහල බෞද්ධ ධානපතියන් විසින් සිදු කළ සේවාවන් විචාරයෙන් තොරව විදේශිකයන් විසින් සිදු කළා යැ යි අප තුළ මානසික තත්ත්වයක් ගොඩනැඟී ඇත්තේ, නිදහස ලැබිමෙන් පසු වුවද ඒවා භාරගත් අපේ පාලකයන් නායකයන් මේවා සොයා බලා නිසියාකාරව සංරක්‍ෂණය නොකරන නිසා ය. වර්තමානයේ ලෝක උරුමයක් ලෙස සුරකින ගාලූ කොටුවේ තිබෙන මෙම ඉපැරණි සිංහල බෞද්ධ උරුමය ලන්දේසීන්ගේ ඉදිකිරීම් ගිණුමට නොපවරා එහි තිබෙන ඉංගී‍්‍රසි සිහිවටන පුවරුව සිංහලයට ද පරිවර්තනය කර භාෂා තුනෙන්ම සකසා පුවරු සටහනක් එම ඔරලෝසු කණුව අභියස සවි කරන ලෙස වග කිව යුත්තන්ට සිහිපත් කරමු.

                 

 මෙම අභිමානවත් කි‍්‍රයාව සිදු කළ සැම්සන් රාජපක්‍ෂ මුදලිතුමා කවුරුන්දැ හඳුනාගැනීම ද වැදගත් වනු ඇත. එබැවින් එතුමන් පිළිබඳව යම් සටහනක් තැබීම වැදගත් යැ යි සිතමි. ශී‍්‍ර මහා බෝධි රාජයාණන් ලක්දිවට වැඩම කරවීමේ දී මෙරට ට පැමිණි බමුණු පිරිස අතර විසූ ඉසුරුමුණි කප්පින බමුණා පදිංචියට පැමිණියේ එම බෝධියෙන් හටගත් දෙතිස්ඵල රුහ බෝධියේ එක් එළරුහ බෝධියක් වු ඇඹලව රහත් ගල්වෙහෙර රෝපණය කළ බෝධියත් සමඟ ය. එකල රෝහණයේ මුහුදු බඩ චිර ප‍්‍රසිද්ධ ග‍්‍රාමයක් වූ වැලිතොට ගල් වෙහෙරට ය. මෙහි පදිංචි වූ මෙතුමා එම ප‍්‍රදේශයේ මහජනයා සමඟ සහයෝගයෙන් ජීවත් වූයේ රාජානුග‍්‍රාහය ලබමිනි. මෙලෙස සියලූ රාජ්‍ය සමයන් හි ප‍්‍රදේශාධිපතීන් විලස මෙම බමුණු පරපුර සීතාවක රාජසිංහ සමයේ පරංගීන් සමඟ සටන්වල දී රජුට ඉතා උදව් උපකාර කළේ ය.

 

එකල වැලිතොට විසූ කප්පින සේනානායක මුදලිවරයා ප‍්‍රබල රණශුරයකු ලෙස කි‍්‍රයා කර ඇත. පසුව සිතාවක රාජසිංහයන් සමඟ ඇති වූ මත බේදයක් නිසා රජු විසින් මෙම මුදලිවරයා මරා දමන්නට කි‍්‍රයා කළහ. මෙයින් පෘතුගීසින් සමඟ එක්වුණු පසු කලෙක මරා දැමූ ඔහුගේ හිස ගෙනවුත් දුන් අයට තෑගි බෝග දෙන බවට සිදු කළ ප‍්‍රචාරණය නිසා ය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් එන ජන කවියක් මෙසේ ය.

 

කඳ ගෙන ගොසින් බග වත්තේ  දමා         පිලූ 

හිස ගෙන ගොසින් සීතාවකට  දී              පිලූ

රුව ගෙන ගොසින් කොඩි ලන්සේ ලියා   පිලූ

කප්පින මුදලි නයිනන්කඩ මරා                පිලූ

මෙම පරපුරේ 19 වැනි සියවසේ ප‍්‍රධාන පුරුෂයා වූයේ මෙම ගාලූ ඔරලෝසු කණුව තැන වූ සැම්සන් රාජපක්‍ෂ මුදලිතුමා ය.19 වැනි සියවසේ මැද භාගයේ මහබද්දේ මහමුදලි පදවිය දැරූ අදිරියන් රාජපක්‍ෂ මුදලිතුමන් ගේ පුතණුවන් ලෙස 1830 දෙසැම්බර් 30 වැනි දින උපත ලද සැම්සන් රාජපක්‍ෂ මහතා බලපිටියේ ධීරානන්ද හිමියන් ගෙන් මූලික අධ්‍යාපනය ලබා එදා කොළඹ ඇකඩමිය ලෙස හැඳින් වූ වත්මන් රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හිමි කරගෙන ඇත. 1944 සිට කොළඹ වලව්වෙන් බලපිටියට පැමිණි සැම්සන් රාජපක්‍ෂ වැලිතර අඹගහපිටි මහා විහාරයේ වැඩ විසූ කහවේ ශී‍්‍ර ඥානානන්ද හිමියන් ගෙන් සිංහල සහ පාලි භාෂාවන් මනා ලෙස උගත්තේ ය. ලංකාගොඩ සිරි ධිරානන්ද නාහිමියන්ගෙන් බුදු දහම  හා අභිධර්මය උගත් අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් වහන්සේ ඉතා සමීපව ඇසුරු කළේ ය. තරුණ වියට පිවිසීමෙන් පසුව 1856 සැප්තැම්බර් 10 වෙනි දින කොළඹ ලුණු පොකුණේ සීමන් ද සොයිසා සෙනවිරත්න සිරිවර්ධන මහතාගේ දියණිය වූ ඩොරතියා ඇමලියා ද සොයිසා සෙනවිරත්න මෙනවිය සමඟ විවාහ ගිවිස ගත්තේය . මෙම විවාහයෙන් ටික කලකට පසු ඇය මිය ගිය හෙයින් දෙවන විවාහය කරගනු ලැබුවේ සිය නැන්දනිය වූ කැරලොයින්ද සොයිසා සිරිවර්ධන මෙනවිය සමඟ ය.

1870 දී මීගමු ප‍්‍රදේශය සඳහා සාමදාන විනිශ්චයකාර පදවිය ද ඉංගී‍්‍රසි ආණ්ඩුව විසින් සම්මානිත වූ මෙතුමාට 1874 අපේ‍්‍රල් 17 වන දින එවකට ලංකාණ්ඩුකාර ධුරන්දර  ශී‍්‍රමත් හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරයා විසින් වාසලමුදලි පදවිය පිරි නමා උපහාර දක්වන ලදී. 1876 දී ලංකාවටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවියක් ද පිරිනමන අතර දේශීය විදේශීය වශයෙන් විවිධ ගෞරව නාමයන්ට පාත‍්‍ර විය.සිය උපන් දේශයට ආගමට දහමට අමරණීය සේවයක් කළ මෙතුමා අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයට කළ සේවය අතිවිශාලය. එම සේවාවන් අතර

            කොළඹ වෛද්‍ය විද්‍යාලය ගොඩනඟන්නට අවශ්‍ය ඉඩම් පිරිනැමීම.

            බලපිටි රෝහල ඉදි කිරීමට අක්කර 04ක් ලබාදීම.

            බලපිටි අධිකරණය සඳහා අවශ්‍ය ඉඩම් පරිත්‍යාගය.

            කොළඹ කෞතුකාගාරය තැනීම සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීම.

            ප‍්‍රථම ඉංගී‍්‍රසි බෞද්ධ පාඨශාලාව 1879 ජනවාරි 07 අහුන්ගල්ලේ පිහිටුවීම.

            විද්‍යෝදය පිරිවෙන සඳහා ආධාර උපකාර නම් කිරීම.

            මීගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ ශාසනික කටයුතුවලට දායකත්වය ලබාදීම.

            බලපිටියේ වැලිතර මහා කප්පින මුදලින්දාරාමය ඉදිකිරීම.

            එහි රාජපක්‍ෂ නමින් පිරිවෙනක් පිහිටුවීම.

            මාදුගඟ මැද කොත්දුව  විහාරය ඉදි කිරීම.

මේසා විශාල මෙහෙවරක් කළ මෙතුමා ගාලූ ඔරලෝසු කණුව තැනීමට ද මූලිකව කි‍්‍රයා කළ අතර, ඒ සඳහා සියලූ වියහියදම් දැරීය. එතුමා විසූ බලපිටියේ කප්පින වලව්ව ගම්පෙරළිය, විරාගය, මඩොල්දුව , ඇතුළු චිත‍්‍රපට රැසකට යොදාගත් ඉපැරණි ගෘහයයි. එතුමන් ගේ පුතණුවන් වූයේ වාසල මුදලි ටියුඩර් රාජපක්‍ෂ මහතායි. එතුමා ද කොළඹ ආනන්ද විද්‍යාලය පිහිටුවීම සඳහා මරදාන නගරයේ අක්කර 03ක් පිරිනැමූ අතර, කොළඹ කටුනායක ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා අක්කර 1000ක් ලබා දුන්නේ ය. 1888 ජනවාරි මස 26 වන දින සැම්සන් රාජපක්‍ෂ මහමුදලිතුමා කොළඹ මෝදර කාරලූ වලව්වේදී අභාවප‍්‍රාප්ත විය.

Advertiesment