Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


ජනපති ඉදිරිපත් කළේ අන්ත දුගීන්ට සහන සහ අයිතීන් දුන් අයවැයක් 


2023-11-21 14322

 

අයවැය ගැන කිසිදු ආර්ථික විද්‍යාඥයෙක් දොසක් කිව්වේ නැහැ 

 

වසරක් ඇතුළත දී රට බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා 

 

ජජබයේ සායම නුගේගොඩ දී හේදුනා   

 

ජනාධිපතිවරයාගේ අයවැය යෝජනාවලිය අන්ත දුගීන්ට සහන සහ අයිතීන් ලබා දුන් සංවර්ධනය ඉලක්ක කර ගත් අයවැයක් යැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ මේ අයවැය යෝජනාවලියට කිසිදු ආර්ථික විද්‍යාඥයෙකුගෙන් විවේචනයක් හෝ චෝදනාවක් එල්ල නොවීමෙන් ඒ බව මනාව පැහැදිලි වන්නේ යැයි ද මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සඳුදා (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.    

මේ වන විට පාර්ලිමේන්තුවේ දී අයවැය සම්බන්ධ විවාදය පැවැත් වෙනවා. විශේෂයෙන්ම ආර්ථික විද්‍යා දැනුම සහිත කිසිදු පුද්ගලයෙක් මේ අය-වැය කර ගෙන යන්නට බැරි අපහසු යෝජනා සහිත අයවැයක් කියන එක ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒ පිළිබඳව අපි සතුටට පත්විය යුතුයි.  

අග්‍රාමාත්‍යවරයෙක් වශයෙන් සිටිය කාලයේදී වගේම, අද වන විටත් ජනාධිපතිවරයා ආර්ථිකය පිළිබඳව තමන්ගේ ඇති සංවේදීභාවය සහ ඒ  පිළිබඳව ගන්නා උත්සාහය සහ දැක්ම තුළින් මේ රට, වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත බංකොලොත්භාවයෙන්  මුදා ගෙන යම් ස්ථාවරත්වයකට පත් කරමින් ජනතාවට කෙළින් නැගී සිටිය හැකි වාතාවරණයක් නැවත ඇති කරලා තිබෙනවා. 

විශේෂයෙන්ම අන්ත දුප්පත්කමේ  ඉන්න ජනතාවට සහන ලබා දුන්න අයවැයක් විදිහට මෙය සඳහන් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම ලිපිනයක් නැතිව හිටිය මිනිස්සුන්ට ලිපිනයක් ලබා දීලා තිබෙනවා. නිවාස අයිතිය, හිමිකම ලබා දීම තුලින්   දරිද්‍රතාවයෙන්  පීඩාවට පත්වූ ජනතාවට දුන්න විශාල සහනයක් ලෙස සලකන්නට පුළුවන්. ඒ වගේම ඉඩම් අයිතිය හිමි වෙලා තිබුණේ නැති ජනතාවට තමන්ට ඉඩමක්, ඒ ඉඩමට ලිපිනයක් සියලු දේ හිමි වෙනවා. එයත්  දුප්පත් ජනතාවට ලබාදුන් විශාල ජයග්‍රහණයක් ලෙස සළකන්නට පුළුවන්. ඒ ඉඩම් සහ නිවාස අයිතිය හිමි වීමත් සමඟම එය ආර්ථිකයට එකතු වන අලුත් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ආර්ථිකමය සාධකයක් විදියට පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා. 

ඒ වගේම කලින් පැවති රජය විසින් අපේ 2015 ආරම්භ කරපු සුරක්ෂා රක්ෂණය නැවතත් 2024 වසරේ සිට ශිෂ්‍යයින් වෙනුවෙන් ආරම්භ කරනවා. ඒ අනුව පෞද්ගලික සහ රජයේ විශ්ව පාසල් වල ශිෂ්‍ය ප්‍රජාවට ඒ ප්‍රතිලාභය හිමි වෙනවා. ඒ අනුව ලක්ෂ දෙකක් දක්වා වෛද්‍ය ආධාර ලබා ගැනීමේ හැකියාව ශිෂ්‍යයින්ට හිමි වෙනවා. විශේෂයෙන්ම මේ වෙනස්කම් ග්‍රාමීය ආර්ථිකයට එකතු වුණහම ග්‍රාමීය ආර්ථිකය තුළ විශේෂ පිබිදීමක් ඇති වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා අය-වැය තුළින් මේ සහන ජනතාවට ලබා දීලා තියෙන්නේ කියන එක සඳහන් කළ යුතුයි. 

ඒ වගේම අපේ ඊළඟ අරමුණ තමයි රාජ්‍ය ආදායම උපයා ගන්නේ කොහොමද කියන කාරණය. 2023 වර්ෂයේ අපි ට්‍රිලියන තුනකට වඩා වැඩි රාජ්‍ය ආදායමක් අපේක්ෂා කළා. අපි අපේක්ෂා කළ අදායමෙන් ට්‍රිලියන 2.9 ආදායමක් ලබා ගැනීමේ හැකියාව පවතියි කියලා අපි උපකල්පනය කරනවා. පසුගිය ඔක්තෝම්බර් තිස් වැනිදා අවසන් වන විට රුපියල් බිලියන 2300 කට වැඩි රාජ්‍ය ආදාමක් උපයා ගැනීමට අපට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසා ඉදිරි මාස දෙක තුළ බිලියන 600ක් විතර පුරෝකතනය කරපු ඉලක්කයක් රජයට තිබෙනවා. එය සපුරා ගැනීම තමයි අපේ අපේක්ෂාව විය යුත්තේ කියන කාරණය මතක් කළ යුතුයි. 

එනිසා ට්‍රිලියන 3ක ආදායමකට යන්නේ කෙසේද කියන අභියෝගය අප ඉදිරියේ තිබෙනවා. ඒ අනුව ප්‍රධානම ආදායම උපයන මාර්ග 3 වන දේශීය ආදායම් සුරා බදු,රේගුව කියන ආයතනවල පවතින ආදායම් එකතු කර ගැනීම ක්‍රමවත් කිරීම ප්‍රධාන කාර්යයක් බවට පත්වෙනවා. මෙවැනි  ආයතන තිස් නවයක් පමණ තිබෙනවා. එනිසා මේ ආයතන පද්ධතිය සේවය කරන නිලධාරීන්ට විශේෂ අවධානයක් සහ වගකීමක් තිබෙනවා, මේ අදායම එකතු කර ගැනීමට දායක වීම වෙනුවෙන්. 

සාමාන්‍යයෙන් අපි වියදම බිලියන 5800 කට වගේ ඇස්තමේන්තුගත කළත්, අපි එය බිලියන 3068ක වගේ මට්ටමකට ගෙන ඒමට සකස් කරලා තිබෙනවා. මේ නිසා ඉදිරි මාස දෙක තුළ රාජ්‍ය ආදායම් නිසි පරිදි එකතු කර ගැනීමටත්, වියදම් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමටත් හැකියාව ලැබුණොත්, අපිට මේ පරතරයන් අඩු කර ගැනීමේ හැකියාව තිබෙනවා. 

සාමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම සියයට 11 ක් පමණ මට්ටමකට යෑම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අප වෙත ලබාදුන් පුරෝකතනවල සඳහන් වන්නේ. ඉදිරි මාස දෙක තුළ සාර්ථක කර ගත්තොත් අපිට ආදායම් වියදම් පරතරය ඉතාම අඩු මට්ටමකට ගෙන ඒමේ හැකියාව තිබෙනවා. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය කාල පරිච්ච්ජේදවල වගේම මෙවරත් ඉතාම හොඳින් ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් මෙය සාර්ථක කර ගැනීමට ගෙන යන වැඩපිළිවෙළට විපක්ෂය සෑහෙන්න බය වෙලා තිබෙනවා. 2017 වර්ෂය ගත්තොත් අපිට වියදමට වඩා ආදායම ඉහළින් තබා ගෙන ධන අගයක් ප්‍රාථමික ගිණුමේ තබා ගැනීමේ හැකියාව අපිට ලැබුණා. වසර හැට හතරකට පස්සෙ තමයි ඒ සිදුවීම සිද්ධ වුණේ කියන එක සඳහන් කළ යුතුයි. 

මේ ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා ම ජාත්‍යන්තර අවධානයක් ලැබිලා අලුතින් ආයෝජන ලැබෙයි කියන එක පිළිබඳව අපි විශ්වාසය තබා ගෙන ඉන්නවා. ඒ නිසා බංකලොත් වෙච්ච රාජ්‍යයක් විදියට ක්‍රමිකව නැගී සිටිමින් ජාත්‍යන්තරය විශ්වාසය දිනා ගැනීමෙන් රටේ ජනතාවගේ සුබ සාධන  ක්‍රියාමාර්ග නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම නිසාම මේ ක්‍රියාවලිය සුමට බවට පත්වෙලා තිබෙනවා කියන එක සඳහන් කළ යුතුයි. රාජ්‍ය ආදායම එකතු කරන ආයතනවල ඉන්න රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි ප්‍රථමයෙන් ඉල්ලා සිටිය යුතුයි, දායක වෙන්න ඉදිරි මාස එකහමාර තුළ මේ ආදායම් එකතු කර ගැනීමට. ඔවුන් මහන්සි උනොත් අපිට අපේ ඉලක්කවලට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා.

ජාතික ජන බලවේගය නුගේගොඩ රැස්වීමේ දී සෙනග ආපු  බස් ගොඩක් නවත්වා තිබෙනවා අපි දැක්කා. නුගේගොඩ ජනතාව එකතු උනානං බස් ගොඩක් නුගේගොඩ නවත්තලා තියෙන්න අවශ්‍යතාවක් නෑ.ඔවුන්  හැමදාම කරන සෙල්ලම නුගේගොඩදි කරල තිබෙනවා. කොච්චර පුම්බන්න හැදුවත්, විදේශ ආධාර අරගෙන, මුදල් වියදම් කරමින් ජනතාව ඇත්ත තේරුම් ගත්තයි කියන එක අපිට පේන්න තිබෙනවා. මේ ඉදිරිපත් කරපු අය වැය තුළින් එය  නිර්මාණය වෙනවා යි කියන එක මතක් කළ යුතුයි.

Advertiesment