Saturday 20th of July 2024

English Tamil
Advertiesment


රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු


2023-11-21 13963

 

රාජපක්ෂ ආර්ථික ඝාතකයින් තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද භුක්ති විඳිනවා

 

ආණ්ඩුව මේ ආර්ථික ඝාතකයින්ට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද..?

 

මොවුන්ගේ වැරදි නිසා වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ ජනතාවටයි   

 

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් කර ජනතාව අනාථ කළ ආර්ථික ඝාතකයන් හෙළිදරව් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නත් එම ආර්ථික ඝාතකයින් තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද බුක්ති විඳිමින් සිය සුපුරුදු ජීවිතය ගත කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (21) චෝදනා කළේය.

මෙම අර්ට්ජික ඝාතකයින් අධිකරණ තීන්දුවට ගරු නොකළ ද ඔවුන්ගේ වැරදි තීන්දුවලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට යැයි ද, මොවුන්ට විරුද්ධව රජය ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ජනතාව අවදියෙන් සිටින්නේ යැයි ද පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා එමනිසා මෙම ආර්ථික ඝාතකයින් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ලිහිල් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයට නොහැකි යැයි ද අවධාරණය කළේය.

ඒ අනුව ආර්ථික වශයෙන් රට බංකොලොත් කළ මෙම ආර්ථික ඝාතකයින්ට එරෙහිව රජය ගන්නා ක්‍රියාමාර්ග කවරේ දැයි තමා රජයෙන් ප්‍රශ්න කර සිටින බව ද, රජය ඒ ගැන ප්‍රකාශයක් කළ යුතු බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කර සිටියේ, අඟහරුවාදා (21) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ඊට අදාළව විශේෂ යෝජනාවක් ද ඉදිරිපත් කරමිනි.

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී. බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්. ඩී. ලක්ෂ්මන්, සමන්ත කුමාරසිංහ සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය මෙසේ රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බැවින් මොවුන්ට විරුද්ධව රජය වහාම ක්‍රියා කළ යුතු යැයි ද සජිත් ප්‍රේමදස මහතා පෙන්වා දුන්නේය.

එසේම මෙම නඩු තීන්දුව අනුව මූලික අයිතීන් කඩ කර ඇති පුද්ගලයින්ට එරෙහිව කරුණු සොයා බලා වාර්තා කිරීමට සහ එම පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වහාම පත් කර මෙම ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය. 

Advertiesment