2022 වර්ෂය යනු ශ්‍රී ලාංකිකයන්ට කිසිදා අමතක නොවන, අමතක නොවිය යුතු ඛේදනීය වර්ෂයකි. කෑමක් බීමක් නොමැතිව, ගෑස් නොමැතිව, විදුලිය නොමැතිව පෝලිම්වල දුක් විඳිමින් රස්තියාදු වෙමින් දින ගණන් ගත කළ හැටි ඔබට මතක ද..? ශ්‍රී ලංකා මහ ජනතාවට අහිමි වී තිබුණේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් බව සිතන්නටවත් එකල නිදහසක් නොවීය. මිනිසෙකුට ජීවත් වීමට අවශ්‍ය මූලිකම පහසුකම් ටිකවත් නොලැබෙනවා නම් ඒ රටක් ද..?
හිත මිතුරන්ට කෝටි ගණන් බදු සහන දී, කොරෝනාවත් වවා ගෙන කෑ රාජපක්ෂ පාලනය රටම බංකොලොත් කළාට පසුත් පැවසුවේ, "අපි ඒකට වගකියන්න ඕන නෑ" යනුවෙනි. එතරම් උද්දච්ඡ රාජපක්ෂලා මේ රට පාලනය කළේය.
2019 ජනාධිපතිවරණයේ දී හැට නව ලක්ෂයක මහ ජනතාව අතින් ඓතිහාසික වරදක් සිදු වුණු බව ඇත්ත ය. ඒත් රාජපක්ෂලා ඒ හැට නව ලක්ෂයක ජනතාවම පාවා දෙමින් පැවසුවේ ඔවුන් අත වරදක් නොමැති බව යි. මහ ජනයා මූලික අයිතිවාසිකම් ටිකවත් නොමැතිව සිටිද්දීත් කටමැත දෙඩූ වගකීමක් නැති පාලනයක් ගෙදර යවන්නට මහ ජනයාම පෙළ ගැසුනේ එබැවිනි.
එහෙත් ඉන් පසුවත් රාජපක්ෂලාගේ උද්දච්ඡකම නැති වූයේ නැත. තමන් අත කිසිම වරදක් නැති ගානට හැසිරුණු රාජපක්ෂලා නැවතත් දේශපාලන පිටියේ රැඟුම් රඟ දක්වන්නට පටන් ගත්තේය.
ඒ නිසා ඔවුන්ව නීතිය ඉදිරියේ දණ ගැස්වීම ජාතික අවශ්‍යතාවයක් විය. ඒ සඳහා මහ ජනයා වෙනුවෙන් පෙරට පය තැබුවේ 2019 දී හැට නව ලක්ෂයක් මහ ජනතාව අතින් පරාජය ලැබූ සමගි ජන බලවේගයම වීම දෛවෝපගත ය.
2023.11.14 ඒ ජයග්‍රාහී දිනයයි..! 2021 දී සහ 2022 දී රාජපක්ෂලා ගත් වැරදි දේශපාලන තීන්දු තීරණ නිසා මහ ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ආචාර්ය මහින් මෙන්ඩිස් ද, බුද්ධි මණ්ඩප සාමාජිකයන් වන ආචාර්ය නොවිස් මොරායස් සහ ආචාර්ය අතුල ශ්‍රී සමරකෝන් යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම 2023.11,14 විභාගයට ගැණුනි.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබුණේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර සහ එස්.ආර්. ආටිගල යන පුද්ගලයන් ය.
අග විනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්වරුන් 2023.11,14 වැනිදා එහි තීන්දුව ප්‍රසිද්ධ කරමින් ප්‍රකාශ කළේ, 2021 සහ 2022 දී වගඋත්තරකරුවන් විසින් ගත් වැරදි තීරණ නිසා මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය.
මෙම පෙත්සමට නීතිමය සහාය ලබා දුන්නේ සමගි නීතීඥ බලවේගයේ සභාපති උපුල් ජයසූරිය මහතා ප්රමුඛ නීතීඥ මණ්ඩලයක් විසිනි. ඔවුන්ගේ දක්ෂතාවයත්, පෙත්සම්කරුවන්ගේ නිර්භයකමත්, සත්‍යයේ බලයත් සමඟින් සමගි ජන බලවේගය විසින් 2023.11.14 වැනිදා රජපක්ෂ සහෝදරවරුන් ප්රමුඛ සොර නඩය මහ ජනතාව ඉදිරියේ නිරුවත් කරනු ලැබිණි.
මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා මහ ජනතාව විසින් ලද ඓතිහාසික ජයග්‍රහණයක් බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු. තවත් ජයග්‍රහණ ඉදිරියේ දී ලැබීමට ඉතිරිව ඇත..!
Lanka Newsweek © 2024