රජය 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ යෝජනා 77න් 69ක් ම මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (14) හෙළි කර සිටියේය.
එම යෝජනා ක්‍රියාත්මක නොකර 2024 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ගැන විශ්වාසනීයත්වයක් ඇති කර ගන්නේ කෙසේදැයි ද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
"රජය 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කර නැහැ. රජය 2024 සඳහා ඉදිරිපත් කළ අයවැයේ සාර්ථකත්වය අපේක්ෂා කළ හැක්කේ රජය 2023 අය-වැය යෝජනාවලින් ඉටු කළ ප්‍රමාණය අනුවයි. අයවැයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමෙන් පසු රජයේ වගකීම අවසන් වන්නේ නැහැ. අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය සහ නිලධාරීන් වගබලා ගත යුතුයි.
2023 වර්ෂය සඳහා රජය ඉදිරිපත් කළ අයවැය මගින් කොපමණ අයවැය යෝජනා ඉදිරිපත් කර තිබේ ද..? අයවැය ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේද..? 2023 අයවැය යෝජනා පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි " Verité Research" ආයතනය සමීක්ෂණයකින් කියනවා. විනිවිදභාවයක් නෑ කියනවා. 2023 වර්ෂයේ වැඩිම මුදල් වෙන් කළ ව්‍යාපෘති 25න් 14ක කිසිදු තොරතුරක් නැති බව කියනවා.
අයවැයක විශ්වාසනීය භාවය කියන්නේ එම යෝජනාවලිය ඉදිරිපත් කරන රජයේ වගකීමක්. විවාද කළ යෝජනා 77න් 69ක සම්පූර්ණතාවයක් නැහැ. 2024 අයවැය යෝජනා පිළිබඳව විශ්වාසයක් තබන්නට නම් අඩු තරමින් 2023 යෝජනාවල සම්පූර්ණත්වයක් තිබිය යුතුයි. රටට බොරු කියන්න එපා. රට මං මුලා කරන්න එපා. 2024 යෝජනා හදන්න කලින් 2023 යෝජනාවල ප්‍රගතිය බලන්නේ නැද්ද..? කිසිම පසුවිපරමක් නැහැ. 2023 යෝජනා ක්‍රියාත්මක කිරීමේදී අන්ත දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. අයවැයට "ටොන් පච" යෝජනා ඉදිරිපත් කරන්න එපා."
Lanka Newsweek © 2023