ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ තමා වරදක් නොදකින බව කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.
මේ අයවැය යෝජනාවලිය එක්සත් ජාතික පක්ෂ අයවැයක් වන අතර ඊට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පමණක් බව ද දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.
මේ අයවැය යෝජනාවලියෙන් සෑම කේෂ්ත්‍රයකටම යම් ප්‍රතිපාදනයක් ලබාදී ඇති බව ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනිම අයවැය ලේඛන ඉදිරිපත් වී ඇති නමුත් එම යෝජනාවලින් ක්‍රියාත්මක වූයේ කෙතරම් ප්‍රමාණයක් දැයි ප්‍රශ්න කර සිටින රාජිත සේනාරත්න මහතා ජනතාවට වැදගත් වන්නේ යෝජනා නොව එම යෝජනා ක්‍රියාත්මක වීම යැයි ද කියා සිටියි.
මෙම අයවැය යෝජනාවලියේ තිබෙන ඉඩම් ගැන යෝජනාව 2002 දී ප්‍රථමයෙන් ගෙන ආවේ තමා යැයි ද, අනතුරුව එම යෝජනාවම ගයන්ත කරුණාතිලක මහතා 2015 දී ගෙන ආ බව පෙන්වා දෙන දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අයවැය යෝජනාවලියේ තිබෙන බොහෝ යෝජනා එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ ඒ අයගේම යෝජනා බව ද සඳහන් කරයි.
ඒ අනුව මෙම අයවැය එක්සත් ජාතික පක්ෂ යෝජනාවලියක් බව ද, එම නිසා ඊට විරුද්ධ විය හැක්කේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පමණක් බව ද රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
Lanka Newsweek © 2023