Sunday 13th of October 2024

English Tamil
Advertiesment


සමාගම් ලක්ෂ එකහමාරක් තිබුණත් බදු File තිබෙන්නේ විසි දහසයි


2023-11-14 14319

 

රාජ්‍ය සේවකයින්ගෙන්  15%-20%ක් අතර ප්‍රමාණයක් රට නොමඟ යවනවා 

 

සියයට දහයකගේ අපරාධ නිසා සියයට අනූවක් බැට කනවා 

 

රවී කරුණානායක අවධාරණය කරයි  

 

රටේ සමාගම් 15,0000ක් තිබෙන නමුත් බදු ගෙවන ලිපි ගොනු තිබෙන්නේ 20,000ක් පමණක් යැයි ද, රාජ්‍ය සේවකයින්ගෙන්  15%-20%ක් අතර ප්‍රමාණයක් රට නොමඟ යවන්නේ යැයි ද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ  හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ  හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව පැවසුවේ, කොළඹ "Grand Oriental" හෝටලයේ පැවති විශේෂ උත්සවයකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

මම හිතන්නේ අපේ රට ඉතාමත් අඳුරු කාලයක් ඔස්සේ ගමන් කරන වෙලාවක්. ආර්ථිකය කඩා ගෙන වැටුණා. ඊට පුනර්ජීවනයක් ලැබී තිබෙනවා. මං හිතන විදිහට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේ රට පැවැති අඳුරු යුගයෙන් යම් තරමකට ඉදිරියට ගෙනත් තිබෙනවා. ඒ ලෙහෙසි ගමනක් නෙමෙයි.  

මේ අවස්ථාවේ අපි සියලු දෙනාම සාමූහික හැඟීමකින් යුතුව ජනපතිට උදව් කළ යුතුයි. වැටිලා තිබෙන ආර්ථිකය ගොඩ නැගීමට එතුමා කටයුතු කරනවා. මේ රට බංකොලොත් භාවයට පත් කළේ එතුමා නෙමෙයිනේ...ඒ නිසා මේ ආර්ථික අවපාතයෙන් එලියට එන එක ලේසි කටයුත්තක් නෙමෙයි. මේ අවස්ථාවේ හොඳම දේ තමයි වියදම අඩු කරල ආදායම උපයන්න පුළුවන් නිර්මාණශීලී භාවයක් ඇති කිරීම. විශේෂයෙන් ම කළ යුත්තේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

මම නැවත කියන්නේ රටේ ආර්ථිකය කඩා වැට්ටුවේ කවුද..? අපිට ඒ නිසා ජාත්‍යන්තර අරමුදලට යන්න වුණා. නමුත් අපි එකෙන් එළියට එන්න ඕනි. ඒ වගේම ප්‍රායෝගිකව ජාත්‍යන්තර අරමුදල කියන හැම දේකටම නැමෙන්න ඕනි නෑ. සියල්ල නොමිලයේ ලබා දෙනවාට වඩා ස්වාධීනව මහන්සි වෙලා වැඩ කරලා ආර්ථිකය ශක්තිමත් කර ගත යුතුයි. 

ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් 10%ක ගේ අපරාධ නිසා තමයි සියයට අනුවක් බැට කන්නේ...රටේ සමාගම් ලක්ෂ එකහමාරක් පමණ තියෙනවා. නමුත් බදු ගෙවන ලිපි ගොනු තියෙන්නේ විසි දහසයි. ඉතින් මේ පුදුම රටක්..! මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි.

අනිත් එක තමයි මම හැම තිස්සෙම ආදරෙන් කියනවා වැඩ කරන්න දක්ෂ සහ වැඩ කරන රජයේ නිලධාරීන් සිටිනවා. නමුත් රාජ්‍ය සේවකයින්ගෙන් 15%-20%ක් අතර ප්‍රමාණයක් මේ රට නොමඟ යවනවා. හැමෝම දේශපාලනඥයන්ට ඇඟිල්ල දිගු කරනවා. ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ සිටින්නේ නව දහසක් විතර...අපි කියමුකෝ මේ දේශපාලඥයෝ ඔක්කොම එපයි කියලා. එතකොට ලක්ෂ දාහතක රාජ්‍ය නිලධාරීන් මොකද කරන්නේ..? මේ හැම දේම කරන්න තියෙන්නෙ ඔවුන් හරහායි. මේ රට අවුරුදු 71ක් තිස්සෙම එක එක් කෙනාට ඇඟිල්ල දිගු කරලා ප්‍රශ්න මඟ හැරලා තියෙන්නෙ. දැන්වත් ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි.

Advertiesment