ජනාධිපතිවරයා බුදු දහම පදනම් කර ගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම මගින් බුදු දහමටද සිදු කළේ නිග්‍රහයක් බවත්, IMF සමඟ එළඹි ගිවිසුමෙහි ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම හේතුවෙන් එහි දෙවැනි වාරිකය ලබා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති මොහොතක ජනාධිපතිවරයා සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත්, අපායක් පිළිබඳ නිරන්තරයෙන් කියමින්, පාලකයින් දිව්‍ය ලෝකයට ගෙන යන්නට කටයුතු යොදා ඇති මේ අයවැය සැබවින්ම ජනතාව රැවටීමට ගත් තවත් උත්සාහයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටිය, ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී සඳුදා (13) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ අයවැයෙහි දැක්වෙන වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට ඇති වැඩ පිළිවෙළ පිළිබඳ කතා කිරීමට පෙර, 2022 වර්ෂයේ ඉදිරිපත් කළ අයවැය යෝජනාවල අඩංගු වූ කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරීමට හැකි වූවාද යන්න යළිත් සිතා බැලිය යුතු බවත්, ජීවන වියදම් දීමනාව රුපියල් 7,800 සිට 17,800 දක්වා වැඩි කරන බවට අයවැය යෝජනාවේ සඳහන් වුවත්, එම කරුණ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 7,500 - 10,000 දක්වා ප්‍රමාණයක් ලෙස බවත් මේ තත්ත්වය ජනතාව නොමග යැවීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, අයවැය කතාවේ ඇතැම් අංශ පිළිබඳ දත්ත මන්ත්‍රීවරුන්ට ලබා දීමටත් පෙර ජනමාධ්‍ය වෙත ලබාදීම මගින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පවා අභියෝගයට ලක් කිරීමට කටයුතු කර ඇති අතර එම ක්‍රියාව රටේ ජනතාව රැවටීමට යොදා ගත් ජනමාධ්‍ය සංදර්ශනයක් බවය.
Lirneasia සංගණනයට අනුව ලක්ෂ 30 සිට 70 දක්වා ලක්ෂ 40කින් දුප්පත්කම වැඩි වී ඇති බවත්, අස්වැසුම පවා විද්‍යාත්මක නොවන වැඩ සටහනක් වීම හේතුවෙන් නිසි ප්‍රථිඵල ළඟා කර ගැනීමට නොහැකි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
Lanka Newsweek © 2023