රටේ ජන ගහනයෙන් 90%ක් විතර විධායක ජනාධිපති ක්‍රමය අනුමත නොකරන්නේ යැයි ද, ඒ අනුව මාදුළුවාවේ සෝභිත නා හිමියන් ගත් මඟ අනුව යමින් එම ජනතාව සමග එකට එක්ව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සටන යළි ආරම්භ කරන්නේ යැයි ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව අවධාරණය කර සිටියේ, මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අට වන ගුණ සමරු උත්සවය වෙනුවෙන් පාර්ලිමේන්තුව අසල පිහිටි උන්වහන්සේගේ අනුස්මරණ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මෙසේ ද පැවසීය.
සිය ජීවිත කාලයේ ඉතිරි කොටස තමා ගත කරන්නේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බව මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේ එදා පැහැදිලිව අවධාරණය කර සිටියා. විධායක ජනාධිපති ක්‍රමයේ ආදීනව අප දන්නා නිසා එදා සිට අප ද මාදුළුවාවේ සෝභිත නා හිමියන් සමග එකට එක්ව ඒ උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළා.
ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව රටේ විශාල මහා ජන මතයක් ඇති කිරීමට මාදුළුවාවේ සෝභිත නා හිමියන් ප්‍රමුඛව අපට හැකි වූ අතර 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයෙන් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි ඒ මහා ජන මතය මානව කුළුගැන් වුණා.
ඒ නිසා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප නැවත වරක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන මතයේ දැඩිව එල්බ ගනිමින් ඒ වෙනුවෙන් පෙරට පැමිණෙන ලෙස ජනතාවගෙන් අප ආයාචනය කර ඉල්ලා සිටිනවා. රටේ දෙකෝටි විසි ලක්ෂයක ජනතාවගේ ඉරණම එක පුද්ගලයෙකු යටතට පත් කෙරෙන මෙම විධායක ජනාධිපති ක්‍රමය කිසිසේත් සාධාරණ වන්නේ නැහැ.
රටේ ජන ගහනයෙන් 90%ක් විතර මේ විධායක ජනාධිපති ක්‍රමය අනුමත නොකරන අතර ඊට එරෙහිව රටේ විශාල මහා ජන මතයක් තිබෙන බව අප කවුරුත් දන්නවා. ඒ අනුව මාදුළුවාවේ සෝභිත නා හිමියන් ගත් මඟ අනුව යමින් එම ජනතාව සමග එකට එක්ව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සටන අප අද නැවත ආරම්භ කරනවා.
ආණ්ඩුක්‍රම ක්‍රම ව්‍යවස්ථානුකුලව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නොහැකි නම් සිදු කළ යුත්තේ, ශ්‍රී ලංකාවේ අවසන් වතාවට පැවැත් වෙන ජනාධිපතිවරණය බවට ඉදිරි ජනාධිපතිවරණය පත් කරන්නේ යැයි ඊට තරඟ කරන සියලු අපේක්ෂකයින් රට-ජනතාව හමුවේ සහතික වීම බව අප අවධාරණය කර සිටිනවා.
Lanka Newsweek © 2023