"මටත් අවුරුදු පහක් රටේ බලය දෙන්න. වැරදුණොත් අවුරුදු පහයි නේ...ප්‍රශ්නයක් නැහැ නේ..." යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කරන ප්‍රකාශයෙන් පැහැදිළි වන්නේ ඔහුගේ නොහැකියාව, ඔහු ගැන ඔහුටම අවිශ්වාසය සහ දේශපාලන බංකොලොත් භාවය යැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ මහතා අවධරණය කර සිටියි.
මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා මේ බව කියා සිටියේ, "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ බ්‍රහස්පතින්දා (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
නිමාවට පත් වුණු විශේෂ සම්මේලනයත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට වර්තමාන ජනාධිපතිතුමා පක්ෂයටත් රටටත් හොද ආදර්ශයක් ලබා දෙමින් "මගෙත් පටන් ගමු" කියන තේමාව යටතේ රට වෙනුවෙන් තමන්ගේ කර්තව්‍ය තමන් විසින් ආරම්භ කළ යුතුයි කියන පණිවුඩය රටට ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඉදිරියට ජනාධිපතිවරණය, මහා මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ අනිකුත් මැතිවරණ පැවැත්වීමට නියමිත බවත් එතුමා රටට එහිදී හෙළිදරව් කළා.
අපි දැක්කා පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් කරලා තිබෙනවා. අවුරුදු හැත්තෑ පහක් මේ රට විනාශ කරලා තිබෙනවා, අවුරුදු 75ක් මේ රට විනාශ කරපු නිසා මටත් අවුරුදු පහකට දෙන්න කියලා එයා ඉල්ලනවා. තව අවුරුදු පහක් වැරදුණාට කමක් නෑනෙ, කියන ප්‍රකාශය තමයි ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වෙන්නේ.
එයින් පැහැදිලි වෙන්නේ ඔහුට මේක කරන්න ඔහු තුළ විශ්වාසයක් නැහැ කියන එකයි. අත්හදා බලන්න දෙන්න කියලයි ඉල්ලන්නේ. මේ රටේ ජනතාව විවිධ අය අත්හදා බලන්න ගිහිල්ල හොඳ පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයව යුද වීරයෙක් කියලා, දේශපාලනය නොකරපු කෙනෙක් කියලා, වියත් මග බෞතීස්ම කරන්න නොකරපු දෙයක් නැහැ. 69 ලක්ෂයක් ඡන්දයෙන් ගෙනාපු කෙනාට අවුරුදු දෙකෙන් යන්න වුණා. අනුර කුමාර දිසානායක දන්නවා 51%ක් ඔහුට ලබා ගන්න බැහැ කියලා. ඒක නිසා මට අවුරුදු පහක් දෙන්න කියලා ආයාචනය කරන්න තැනටම පත්වෙලා තිබෙනවා.
මේ රටට පරිණත නොවන දේශපාලන නායකත්වයක් වැඩක් නැහැ, කියන එක ලංකාවත් දන්නවා. ලෝකයක් දන්නවා. උදාහරණයකට යුරෝපා සංගමයත් එක්ක එකතු වෙලා ව්ලැඩිමීර් සොලෙන්ස්කි යුක්‍රේන බලය ගත්තා. නමුත් අද වෙද්දි යුද්ධයක් නිසා ඔහුගේ පාලනය නැත්තටම නැති වෙලා තිබෙනවා. ඒ අත්දැකීම් නැති පාලනයක් කිරීමත් එක්ක එහෙම සිදු වෙලා තිබෙන්නේ.
ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය අර ගෙන ඩොලර් ප්‍රශ්නයට කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියන එක සම්බන්ධ කිසිම වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරල නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ගැන විශ්වාසයක් තියලා මන්ත්‍රීවරු හතලිස් දෙදෙනෙක් පාර්ලිමේන්තුවට පත් කරලා යැව්වා. හැම දිස්ත්‍රික්කයකම පළමු මනාපය ලබා දීලා පාර්ලිමේන්තු යැව්වා. දැන් එය මන්ත්‍රිධුර 3 දක්වා පහළ බැහැල තිබෙනවා. ඒ වගේම තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවත් ඔවුනට භාර දුන්නා. තිස්ස ප්‍රාදේශි සභාව ඡන්දත් අඩු වෙලා, දූෂණ වංචා වැඩි වෙලා එක විනාශයට පත්වෙලා තිබෙනවා. ජනතාව නැවත ඔවුන්ට බලය දෙන්නේ නැහැ.
බලය ගන්න ආයාචනා කරන තැනට පත්වෙලා තිබෙනවා. වැරදිලාවත් බලය දුන්නොත් අවුරුදු පහක් ඉදිද..? කාම්බෝජයේ බලය ලබාගත්තේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් තමයි. රට සංවර්ධනය කරන්න ඔවුන්ට ක්‍රමයක් තිබුණෙ නැහැ. සල්ලි තිබුණෙත් නැහැ. නගරවල හිටපු ඉගෙන ගත්ත මිනිස්සුන්ව ගම්වලට පලවා හැරලා ගිහිල්ලා වගා කරන්න කියලා යැව්වා. රජය ලක්ෂ ගණන් මරා දැම්මා. ලංකාවේ පිහිටු වන්නෙත් ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් ඔය කියන රජයක් තමයි කියන එක පැහැදිලි කළ යුතුයි.
ඔවුන් බලය ලබා ගත්තොත් කාම්බෝජියාව හෝ උතුරු කොරියාව හෝ කියුබාව හෝ උදාහරණයක් තමා අපට දකින්නට ලැබෙන්නේ කියන එක මතක් කළ යුතුයි. එහෙම බලය ලබා ගත්තොත් බලහත්කාරයෙන් තියා ගන්නවා මිස ආපහු දෙන්නේ නැහැ. ඒ නිසා කිසිදු වැඩ පිළිවෙළක් නැතුව, අත්දැකීමක් නැතුව ජනතාව රවටන්න සූදානම් වෙනවා.
අවුරුදු 75ක කාලය තුළ ඔවුනුත් ඇමති ධුර හතරක් දැරුවා. අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති විදියට අපිට එක කරපු වැඩක් මතක් වෙනවද..? ජනතාව ඒ පිළිබඳව කතා කරනවද..? නැහැ. නමුත් පසුගිය අවුරුදු 75 තුළ එහෙම නම තියලා කතා කරන්න පුළුවන් දේශපාලඥයන් හිටියා. මහවැලි ව්‍යාපාරය කී පමනින් ගාමිණී දිසානායක මහත්තයා මතක් වෙනවා. මහපොළ කිව්වහම ඇතුලත්මුදලි මහත්තයා මතක් වෙනවා. ගම්උදාව කීවම ප්‍රේමදාස මහත්මයා මතක් වෙනවා. උසස් අධ්‍යාපන ක්‍රමවේදය ගැන කියපුවාම, විද්‍යාපීඨ ජාතික අධ්‍යාපන ආයතනය,තරුණ සේවා සභාව කිව්වම රනිල් වික්‍රමසිංහ මතක් වෙනවා. එනිසා වැඩ කරපු ඇමතිවරු මේ රටේ හිටියා. ඒ වගේම තමන්ගේ නම මතක් කලාම ඔවුන්ගේ වැඩ මතක් වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණත් ඇමති ධුර හතරක් දැරුවත්, කරපු දෙයක් මතක් වෙන්නේ නෑ. ඒක ජනතාව ප්‍රශ්න කළ යුතුයි. කිසිදු වැඩක් කරලා නැහැ වගේම වැඩක් කරන්න දන්නේ නෑ. ඔවුන්ගේ ගිණුම්වල බිලියන ගානක් තියෙනවා කිව්වට, ඒවා හෙළිදරව් කරන්න සූදානමක් නෑ.. මැතිවරණ වියදම් හෙළි කිරීම පිළිබඳ පනතක් ගෙන එනවට ජනතා විමුක්ති පෙරමුණ කැමති නැහැ.
වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කරන්න කීවම, අපි වැරදි කරන්නෙ නැති නිසා, අවශ්‍ය නෑ කියල කියනවා. ඇයි ඔවුන්ට එළිදරව් කරන්න බැරි ජනතාවට වත්කම් කියන එක ප්‍රශ්නයක්. මන්ත්‍රීවරුන්ට නිල නිවාස දෙනවට විරුද්ධයි කිවට, අදටත් හිටපු මන්ත්‍රීවරු මන්ත්‍රී නිවසේ ඉන්නවා.
1969 දී කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඩඩ්ලි සේනානායක ආණ්ඩුව විසින් හදන්න යද්දි වාමාංශික ව්‍යාපාර තමයි විරුද්ධ වුණේ. 70 වාමාංශික තුන් හවුල් වාමාංශික ආණ්ඩුව එය අතහැරලා දැම්මා. එහෙම නොවුනානම් ආසියාවේ ගුවන් ප්‍රවාහන මධ්‍යස්ථාන වෙන්න තිබුණේ ලංකාවයි. ඒ කාලෙත් මේ වාමාංශය විසින් එය නැති කරලා දැම්මා. එවගේම පසුවට රාජ්‍ය දේපල විනාශ කරලා, ගෙවල් ගිනි තියලා, ජනතාව ඝාතනය කරලා, විනාශ කරලා දැම්මා. එම රාජ්‍ය දේපල අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 150ක් පමණ වෙනවා. 1994 මම විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න කලින් අවුරුදු හතරක් ගෙදර හිටියා. ඒ කාලපරිච්ඡේද තරුණ තරුණියන් ලක්ෂ 15ක වගේ ප්‍රමාණයක් නිවසට වෙලා රැඳී සිටීම හේතුවෙන් ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ වුණ.
ජනතා විමුක්ති පෙරමුණ තුන්ඩු කෑලි ගෙදරට දාලා, මරලා දැම්මා, විතරක් නෙමේ මිනිය දණිස්සෙන් උඩට ගන්න බැරි නීතියක් දාලා තිබුණා. එවැනි තුන්ඩු කෑල්ලෙන් ආණ්ඩු කරන්න හදන කණ්ඩායමක් ගැන ජනතාවට විශ්වාසයක් තියා ගන්න පුළුවන් ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා.
අවුරුදු 75ක් ගිය එක මට පහක් දීලා බලන්නකෝ කියලා ඉල්ලමින් ඉන්නවා. ජනතාවගෙන් ඉල්ලන්නේ මේ සියලු දේවල් මතක තියා ගන්න මේ රටට අවශ්‍ය වෙන්නේ ලෝකෙත් එක්ක යන්න පුළුවන් අත්දැකීම් තියෙන පරිණත දේශපාලන නායකයෙක් කියන එකයි. වැඩ කරන්නේ නැති පරිණත නැති දේශපාලනය ගැන දැනුමක් නැති මෙවැනි පිරිස් ගැන විශ්වාසය තියන්න එපා. අපි ඕන තරම් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. මේ රට හදන්න නම්, හදන්න පුළුවන් එකම එක්කෙනා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන එක ලෝකෙට පෙන්නල තියෙනවා.
88-89 කාලේ අපි ගෙදරට වෙලා හිටියේ. බයේ ගෙදරින් එළියට බැස්සොත් බයයි. අපේ අම්මලා බස් එකේ ආවම අපි ගෙදර ගෙදර එයි ද කියලා බයේ හිටියේ. කොයි වෙලේ අරන් ගිහිල්ලා ඝාතනය කරයිද කියන බය එදා තිබුණා. විශ්ව විද්‍යාල තුල දේශපාලනය කරද්දි මර්දනකාරී ව ඔවුන් දේශපාලනය හසුරුවනු අපි දැක්කා. ඒකට අපි බයයි. මේ රට නැවත එවැනි හතළිස් දාහක් 50,000 ක් රටේ තරුණයින් ඝාතනය කරලා, මර්දනය කරලා, ඔවුන් බලය ගෙනියන්න උත්සාහ කරනවා. ඒ අතීතය අපේ හදවත්වල මැකෙන්නේ නෑ. ඒ බය අපිට තිබෙනවා. ඒ කාලේ ජීවත් වෙච්ච තරුණයෝ ඔක්කොම ජනතා විමුක්ති පෙරමුණ කොහොමද හැසිරුණේ කියන එක දන්නවා.
ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකයෙක් කිව්වම අර ඉස්කෝලේ මහත්තයා මරල එන්න කියලා, මරන්න ඇයි කියලා දන්නෙත් නෑ.එවැනි සමාජවාදයක් කොහෙද ස්ථාපිත කළ හැකි වන්නේ. ඩොලර් බිලියන 150ක් රටට අහිමි කර, අපේ ජීවිත අවුරුදු හතරක් ආපස්සට යැව්වා. අපි විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ විසි අටේදි. අපේ ජීවිත අවුරුදු හතරක් විනාශ කළා.ඒ බය, අත්දැකීම් අපිට තිබෙනවා.
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය කළේ විද්‍යාපීඨය විතරයි. හැබැයි අපි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නෑ.එදා අනුර කුමාර දිසානායක කොළඹ ඇවිල්ලා, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය ජනතා විමුක්ති පෙරමුණට සහය දෙන්න කීවම, මම ඒකට විරුද්ධව කරන්න බැහැ කිවුවා. ඔවුන් අණදෙන දේවල් කරන්න අපි සූදානම් නැහැ කියලා එදත් කිව්වා. ඒ මතකය නිසා අපි බයයි.
ආර්ථිකය හදන්නේ කොහොමද..? අධ්‍යාපනය හදන්නේ කොහොමද..? අපි කරන්නේ කොහොමද..? කියන එක ඔවුන් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. වැරදුනත් පහයි නේද කියලා අනුර කුමාර හිනා වේවි කියනවා. ඔහු විශ්වාසයක් තිබිය හැකි පුද්ගලයෙක් ද..?
Lanka Newsweek © 2023