Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


ලොකු හෝටල්වල කරන Digital අල්ලාප සල්ලාපවලින් සුහුරු රටක් හදනු බැහැ 


2023-10-23 1336

 

නව ලොවට ගැලපෙන පුරවැසියකු තැනීමෙන් සුහුරු රටක් ඇති කිරීම තම අරමුණයි

 

ඒ සඳහා ප්‍රායෝගික විය යුතුයි  

 

රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා නිර්මාණශීලී නැවුම් විසඳුම් අවශ්‍ය යැයි ද,විවිධ අවස්ථාවල ඩිජිටල් විප්ලව ගැන සුවිසල් හෝටල්වල සම්මන්ත්‍රණ පැත්වූවත්, කිසිදු අවස්ථාවක ඒ විප්ලව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

එහෙත් "සක්වල" වැඩ සටහනින් ඒ සඳහා මුල් පියවර තබන්නට තමාට හැකි වූයේ යැයි ද, ඩිජිටල් ලොවට පාසල් දූ දරුවන් හුරු කිරීමකින් තොරව තොරතුරු තාක්ෂණ පිළිබඳ කතා කිරීම ඵලක් නැතැයි ද හෙතෙම කියා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, "සක්වල" වැඩසටහන යටතේ, 36 වන සුහුරු පන්ති කාමරය බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලේ දූ දරුවන්ට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වසර 75ක මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වරට විපක්ෂයක් ලෙස ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හැකි ප්‍රමාණයෙන් අගයක් එකතු කරන්නට "සක්වල" සහ "හුස්ම" වැඩසටහන් ඔස්සේ හැකිවූ බවත්, එහි ප්‍රතිලාභ පාසැල් දූ දරුවන් සහ මෙරට අහිංසක ජනතාව බුක්ති විඳින බවත්, ඒ පිළිබඳව පුරවැසියෙකු ලෙස තමාටත්, පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයටත් නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

දුප්පත් රටට, දූපත් මානසිකත්වයකින් ඉදිරියට යා නොහැකි බවත්, නව තාක්ෂණික දැනුමෙන් දූ දරුවන් සන්නද්ධ කරන අතරතුර ඉංග්‍රීසි අධ්‍යාපනයට දරුවන් හුරු කරවමින්, නව ලෝකයට ගැලපෙන පුරවැසියකු තැනීම ඔස්සේ සුහුරු රටක් නිර්මාණය කිරීම තම ඉලක්කය බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

    

Advertiesment