Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


කොටන් ඇද්ද අලි පෙරහැරේ යන එජාප ආණ්ඩුවක් හදනවා 


2023-10-27 1264

 

එජාපයට වැරදුණේ කොටන් ඇද්ද අලි පැත්තකට කළ නිසයි 

 

තිත්ත වුණත් ඇත්ත ඒකයි-රවී පාක්ෂිකයින් ගැන සංවේදී වෙයි 

 

2024 නිර්පාක්ෂික ජනපති රනිල් වික්‍රමසිංහ  

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ 2024 දී පිහිටු වන්නේ කොටන් ඇද්ද අලි පෙරහැරේ යන පාලනයක් යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, සෙනසුරාදා (21) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

එක්සත් ජාතික පක්ෂය කියන්නේ පවුලේ පක්ෂයක් නොව එක පවුලක් ලෙස වැඩ කරන දේශපාලන පක්ෂයක් බව කිව යුතුයි. අපට එකමුතුභාවයක්, දර්ශනයක්, වැඩ පිළිවෙළක්, බලය ගැනීම සඳහා දක්ෂ කණ්ඩායමක් සහ අති විශාල පාක්ෂිකයින් පිරිසක් සිටිනවා.

කිනම් හෝ හේතුවක් මත එක්සත් ජාතික පක්ෂය කියන පවුල හැර ගොස් සිටින සියලු දෙන යළි මේ එක්සත් ජාතික පක්ෂය කියන මහා ගෙදරට සහ පවුලට පැමිණිය යුතු කාලය එළඹිලා තිබෙනවා. ඒ වගේම හෙට දින රටේ රජ කරන්න බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට අප විවෘත්ත ආරාධනයක් කරමින් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමග එකට එකතු වන ලෙසටයි. එපමණක් නොව වැඩිහිටියන් ඇතුළු සියලු ම සිංහල, දෙමල සහ මුස්ලිම් ජනතාවට ද මෙම ආරාධනය විවෘත්තයි.

එන්න...මේ තමයි වෙලාව. මේ රටම බලා ගෙන සිටින අවස්ථාවක්. රටේ සහ ජනතාවගේ කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයටයි. එක්සත් ජාතික පක්ෂය කියන්න හැමදාම ඇත්ත කිව්ව, දුර දිග බලා කටයුතු කළ, නිවැරදි දේ නිවැරදි ලෙස කිව්ව සහ අමිහිරි වුවත් ජනප්‍රිය දේශපාලනයෙන් බැහැර වූ පක්ෂයක් බව කවුරුත් දන්නවා.

ගෝලීයකරණය, තාක්ෂණය සහ කර්මාන්තකරණය රටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂය අපේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව යළි ගොඩනගනවා. එදා ජේ.ආර් ජයවර්ධන මැතිතුමා විවෘත්ත ආර්ථිකය හරහා ශ්‍රී ලංකාව ලෝකයට එකතු කළා.

2015 දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අප කඩා වැටුණු රටේ ආර්ථිකය භාර ගෙන ඒ වැරදි නිවැරදි කරමින් සාර්ථක ගමනක් ගෙන ගිය. ඊට පසුව රට යළි බංකොලොත් කර 2022 දී නැවත එක්සත් ජාතික පක්ෂයට භාර දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියලු දෙනා එකට ඒකරාශී කළ හැකි පක්ෂයයි. විපක්ෂය තාවකාලිකව සුරංගනා කතා කියමින් ද, බිල්ලෝ මවමින් ද, රට කුලප්පු කරමින් ද, ජාති වාදය, ආගම් වාදය සහ අන්ත වාදය වපුරවමින් ද ක්‍රියා කළත් එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න ඒ අයට බැහැ.

එවකට අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් මුදල් ඇමතිවරයා ලෙස මමත් අපේ අනෙකුත් මැති ඇමතිවරුනුත් 2015 දී භාර ගත්තේ කඩා වැටුණු ආර්ථිකයක් සහිත රටක්. ඒ කඩා වැටුණු රටේ ආදායම මාස තිහකින් 100%කින් වැඩි කිරීමට අපට හැකි වුණා. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කළා.ගෑස්, පෙට්‍රල්, භුමි තෙල් මිල අඩු කළා. නිවාස ව්‍යපෘති ක්‍රියාත්මක කළා. හරීන් ප්‍රනාන්දු යටතේ "Smart Technology" රට පුරා ගෙන යන්න හැකි වුණා.

නමුත් එවකට හිටපු නායකයින් මේ තාක්ෂණ ලෝකය ගැන නොදැනුවත්ව ක්‍රියා කළ නිසා ඒ වැඩ සටහන් කිසිවක් අවසානයක් දක්වා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. අපි අමාරුවෙන් ගොඩනැගු යහ පාලන ආර්ථිකය පහසුවෙන් විනාශ කර මුළු රටම බංකොලොත් කළා.

රට බංකොලොත් වී තෙල්, ගෑස්, විදුලිය, ආහාර, පොහොර, රටට ඩොලර් නැතිව තිබුණු අවස්ථාවක තමයි අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණේ. එතුමා මාස දෙක තුනකින් රටේ තිබුණ ඒ බන්කොලොත්භාවයේ ප්‍රශ්න සියල්ල විසඳුවා. මේ තනි අලියා පාර්ලිමේන්තුවේ මිත්‍රශීලී පක්ෂත් එකතු කර ගෙන එම ජාතික කාර්යභාරය කළා. ඉදිරි දැක්මක් ඇතිව මේ රට පලනය කර ජනතාගේ ජීවන තත්ත්වය උසස් කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව මහා මග හන්දි හන්දි ගානේ කයිවාරු ගහන සියලු දෙනාමත් හොඳින්ම දන්නවා.

අපි හැමදාම වැටුණු රට ගොඩ ගත්තා. ආර්ථිකය ධන කළා.නමුත් ඒ හැම වතාවකම අපට බලය අහිමි වුණා. ඒ ඇයි..? අපි රට හැදුව. නමුත් අපට ජනතාව නැති වුණා. අපේ මහා ගෙදර සාමාජිකයින් බලා ගැනීමට අපි අසමත් වුණා. තිත්ත වුණත් කියන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපට පසුගිය මැතිවරණයේ දී ලක්ෂ 30ක ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්ද පොලට නෑවිත් හිටියේ.

කෙසේ නමුත් අද අලුත් ව්‍යවස්ථාවක් සමග අලුත් මතයකින් අපි නැවත අපේ එක්සත් ජාතික පක්ෂය 2024 දී පාලන බලයට ගෙන ආ යුතුමයි. අපේ අඩුපාඩු තිබෙන්න පුළුවන්. ඒ අඩුපාඩු නිවැරදි කළ යුතු කාලය එළඹිලා. නායකතුමනි, ඔබ රට ගදන විට අපි අපේ සාමාජිකයින්ට රැකවරණයත් දිය යුතුයි. අපේ ආණ්ඩුවක් ආ පළමු මොහොතේදී ම අපි අපේ අයට පළමු වරප්‍රසාදය ලබා දෙනවා. බර අදින අලින්ට පෙරහැරෙත් යන්න අප ඉඩ දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරලා ඔහු වටා ඉතිහාසයේ පුළුල්ම දේශපාලන සන්ධානය ගොඩනග එතුමා ජනාධිපති පුටුවේ වාඩි කරවා අප මේ රට දියුණු කර ලෝකයට ගෙන යනවා යනවාමයි.     

Advertiesment