Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


විදුලි බිල තෙවැනි වරටත් වැඩි කළේ අරක්කුකාරයින්ට සහන දෙන්නයි 


2023-10-22 1355

 

පීඩිත ජනතාව පාගා අරක්කුකාරයින් රකින පුදුම ආණ්ඩුවක් 

 

විපක්ෂ නායක අවධාරණය කරයි 


බදු අය කර ගත යුතු පුද්ගලයින්ගෙන් බදු අය නොකර රජය කරන්නේ සිය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා පීඩිත ජනතාව මතම බදු පිට බදු ගසා එම ජනයා තව තවත් පීඩාවට පත් කිරීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.

අනීතික ලෙස ආණ්ඩුව තෙවැනි වරටත් විදුලි බිල වැඩි කළත්, අරක්කු සහ සිගරට් කොම්පැනිකරුවන්ට බදු පැහැර හැරීමට ඉඩ ලබාදීම අතිශය කණගාටු දායක තත්ත්වයක් බව ද හෙතෙම පෙන්වා දෙයි.

ග්‍රාමීය දුප්පත්කම තුරන් කරනවා වෙනුවට, රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් බියර් බලපත්‍ර ලබා දීමේ වැඩ සටහනක් රට පුරා ක්‍රියාත්මක වන බවත්, සංචාරක ප්‍රවර්ධනය යැයි පවසමින් විහාරස්ථාන, පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන අසළ මෙවැනි මත්පැන්හල් විවෘත කිරීමට බලපත්‍ර ලබා දෙන බවත්, මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම විසින් ආක්‍රමණය කර ඇති බවත්, මෙවන් තත්ත්වයක් තුළ සෘජු තීන්දු ගනිමින්, අනාගත පරපුර රැක ගත යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව අනාගත සමගි ජන බලවේග රජයක් යටතේ දුම්වැටි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය යථාර්ථවාදීව අවම කිරීමේ වැඩ සටහනකට තමා මුලපුරන බවත්, මේ ප්‍රතිපත්ති ජනප්‍රිය නීන්දු නොවන නිසා ඡන්ද අඩු වනු ඇති බවත්, ඊට තමා බිය නොවන බවත්, ජනප්‍රිය දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සෙනසුරාදා (21) බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමිනි.

රටේ නීති පද්ධතිය පමණක් නොව, රටේ ක්‍රමවේදයද සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවත්, මත්පැන් මත්ද්‍රව්‍ය සහ දුම්වැටි නිසා රජයට විශාල ආදායමක් ලැබෙන බව ප්‍රකාශ කළත්, පාර්ලිමේන්තු කමිටුවලින් අනාවරණය වූ ආකාරයට මත්පැන් ව්‍යාපාරිකයින් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් නිසි ආකා⁣රයෙන් ගෙවා නොමැති බවත්, ආයතන දෙකක් ලක්ෂ 17,000ක මුදලක් බදු ලෙස පැහැර හැර ඇති බවත්, මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ සුළුතර කොට්ඨාසයක් දුම්කොළ සමාගම් සමඟ ඇති අනිසි සම්බන්ධතා නිසා රාජ්‍යයට අය විය යුතු මුළු බදු ප්‍රමාණය අය කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අනාවරණය කළේය.

අමද්‍යප ව්‍යාපාරය මෙවැනි සම්මේලනයකට පමණක් කේන්ද්‍රගත නොවී රටේ සෑම පළාතකම, සෑම දිස්ත්‍රික්කයකම, ගමකම සක්‍රියව ක්‍රියාත්මක විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Advertiesment