ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියා ගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය
මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ සිකුරාදා (20) පාර්ලිමේන්තුවේද ඊශ්‍රායල-පලස්තීන ගැටලුව සම්බනධයෙන් විවාදයට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
"ඊශ්‍රායලයේ පැවති ගැටුම්වලට මැදිහත්ව මිය ගිය ශ්‍රමිකයින් සියලුම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකික ශ්‍රමිකයෙන් ජීවිතක්ෂයට පත් වුණා කියලා අපිට දැනට වාර්තා වෙනවා. ඒ ගැන අපි කණගාටුව පළ කරනවා. ඒ වගේම අපහසුතාවයට පත් වෙලා සටින සියලු දෙනා සම්බන්ධයෙන්ම ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. අපහසුතාවක් තියෙන අය ඉන්නවා නම් යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතුත් දැනටමත් කරලා තියෙනවා.
ඒ වගේම ඊශ්‍රායලයේ රැකියා සඳහා යන්න සූදානමින් ඉන්න පිරිසගේ කැමැත්ත මත ඔවුන්ව පිටත් කරලා යැවීමටත් අපි අවශ්‍ය කටයුතු කරනවා.අපි ඊශ්‍රායල රජයත් එක්ක දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා අපිට කෘෂි ක්ෂේත්‍රයේ රැකියා දහසක් සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. ආරක්ෂක තත්ත්වයත් බලලා අපි ඒ අයව යොමු කරන්න කටයුතු කරනවා.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මේ ලෝකය එක දවසක්වත් යුද්ධයකින් තොවර පැවතිලා නෑ. මේ වන විට ලෝකයේ යුද්ධ හැත්තෑ දෙකක් තිබිලා තියෙනවා. ඒ යුද්ධවලින් බිලියනක පමණ පිරිසක් මිය ගොස් තිබෙනවා.
පලස්තීන සහ ඊශ්‍රායලය ගැටලුව දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බලවත් ජාතීන් විසින් නිර්මාණය කරන ලද යුද්ධයක් විදිහටයි අපි විශ්වාස කරන්නෙ. ලෝකය මෙහෙ වන්නා වූ අන්තර්ජාතික සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බෝහෝ ආයතනවලටත්, බුද්ධිමතුන්ටත්, ආගම්වලටත් මෙම ගැටලුව විසදීමට නොහැකිවී තිබෙනවා.
එක් පැත්තකින් මේ තත්ත්වය සමාජ - සංස්කෘති අර්බුදයක් වන අතර අනෙක් පැත්තෙන් දේශපාලන - ආර්ථික අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා.
යුද්ධයක් එනකොට අපේ සමහර අයට සතුටුයි. හැබැයි මේ යුද්ධ ඇතුළේ සිදු වෙන්නේ මොකක්ද..? ලෝකයේ රත්තරන් වෙළදපොළේ ඒකාධිකාරය තියෙන්නේ ඊශ්‍රායලේ බැංකුවලට. රත්තරන්වල මිල නොසිතූ ලෙස ඉහළ යාමෙන් ලෝක ආර්ථිකය කඩා ගෙන වැටෙනවා. මේ ප්‍රශ්නයට ඇමරිකාව පැටලුනොත් සිදු වන්නේ කුමක්ද..? ඩොලරයේ අගය ඉහළ යනවා. මීට ඉරානය පැටලුනොත් මොකද වෙන්නේ..?
ඒ වගේම මැදපෙරදිග කලාපය පැටලුනොත් මොකක්ද අපිට වෙන්නේ..? අපිට තියෙන විශාල තේ වෙළද පොලක් අහිමි වෙනවා. මේ වගේ අපිට පෙනෙවාට වඩා නොපොනෙන විශාල කඩා වැටීමකට මුහුණදීමට සිදු වෙනා.
මේ අපි යන්තම් රටක් විදිහට හුස්මක් ගන්න හැදුවා විතරයි. ලෝකයේ බොහෝ තැන්වල දේශ සීමා සටහන් කරමින් එක් ජාතියක් තවත් ජාතියකට එරෙහිව සිටුවා තියෙනවා. එය ආගමික, සංස්කෘතික, දේශපාලනික සහ ඔවු නොවුන් පිළිගත් ආර්ථික මතවාදයන්ට අනුව එය සුව නොකළ හැකි රෝගයක් බවට පත්වෙලා තියෙනවා.
ඊශ්‍රායල - පලස්තීන ගැටලුව විසඳන්න දාර්ශනික ප්‍රව්ශයකින් යුත් මානුෂියත්වයක් අවශ්‍යයි. ආනගත ලෝකය භූමිය හෝ දේශ සීමා මත නොපවතී යන්න තමයි අපි විශ්වාස කරන්නේ. ඒක මම මේ පාර්ලිමේන්තුවේදී මීට කලිනුත් කියලා තියෙනවා.
මේ අපි සිටින්නේ එක ශිෂ්ඨාචාරයක අවසානායෙයි. ඒක යුද්ධයකින් අවසන් කර ගන්න යනවාද කියන බරපතළ ඛේදවාචකයක් අපිට දැනෙනවා. අපි මේ ගැටලුවේදී කිසිදු පාර්ශවක කොටස් කරුවන් වෙන්න අවශ්‍ය නෑ. අපි මතු කළ යුතු වන්නේ මනුෂ්‍යත්වයයි. කුමන ආගමට, වර්ගයකට, දේශපාලන දර්ශනයකට අයත් වුවත් අපිට ඔවුන් මනුෂ්‍යත්වයේ නාමයෙන් සහෝදර සහෝදරියන් ලෙසින් පිළි ගත යුතුයි.
වෙනස්කම් සහිත විවිධත්වය අගය කිරීමටත්, එයට ගරු කිරීමටත් අපි හුරු පුරුදු විය යුතුයි. මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ හට ගත් ඇතැම් අර්බුද ලෝකයේ සිදුවූ විවිධ අර්බුද සමග එකට එකතු කිරීමට ඇතැම් පාර්ශවයන් උත්සාහ දරනවා. අපි මේ මොහොතේදී කිසිදු පාර්ශවයකට අයත් නොවන සේ සාමකාමී සහජීවනයෙන් ලෝකය දෙස බැලීමට ඉගෙන ගත යුතුයි.
නැති නම් අපේ රටටත් අනාගතයක් නෑ. මේ යුද්ධය දික් ගැසුණ හොත් ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලාංකික ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේම අපේ ආදායම් මාර්ග සීමා වන අතර අපිට අවශ්‍ය ඉන්ධන සහ වෙනත් බොහෝ දේ සොයා ගැනීමට අපිට වෙනත් මාර්ගයන් නොමැතිවීමේ අර්බුදයට මුහුණ දෙනවා.
අපේ රටේ ආර්ථිකයට ඊශ්‍රායලේ වගේම මැද පෙරදිග කලාපයේ දායක්තවය වැදගත් වෙනවා. ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. මේ අයගේ ජීවිත ගැන, ආරක්ෂාව ගැන රජයක් ලෙස අපිට විශාල වගකීමක් තිබෙනවා. මේ කලාපයේ සිටින කිසියම් ශ්‍රමිකයෙක්ට නැවත රටට එන්න අවශ්‍යයි නම් අපි ඒ වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් සපයනවා.
මේ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරන ආකාරය ගැන රටක් විදියට අපි නැවත සිතා බලන්න ඕන. මේ හැමෝම වාර්තා කරන්නේ එක පැත්තක ඉදගෙන. මේ වාර්තා කිරීම නැවත ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයක් කරා ගෙන යාමට හේතු විය හැකියි.
මේ සම්බන්ධයෙන් ආගමික නායකයින්, දේශපාලනඥයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු හැමෝම අවධානය යොමු කළ යුතුයි. මේ රට අර්බුදයට ලක්වූ වෙලාවේ රටට අවශ්‍ය තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගේනාවේ විදේශ රටවල සේවය කරන ශ්‍රමිකයින්ගේ මුදල්වලින්. මේත් එක්ක විදේශ රැකියා අපේක්ෂාවෙන් විවිධ පුහුණුවීම්වල යෙදෙන බොහෝ පිරිසක් ඉන්නවා. මේ අයගේ බලාපොරොත්තු සුන්වෙයි කියන විචිකිච්ඡාවෙන් ඉන්නවා.
මේ අතර හොරෙන් ඊශ්‍රායලයට පනින්න යන කාන්තාවන් අල්ලා ගන්නවා. අපි මේවා ගැන කතා කරලා තියෙනවා. අපි දිගින් දිගටම මිනිස් ජාවාරම් ගැන කතා කළා. මේවා ගැන අපි කතා කරන කොට ආචාර්ය මහාචාර්යවරු එක එක ඒවා කියන්න ගත්තා.
මේ අර්බුදයේදී අපිට ගන්න තියෙන පාඩම මොකක්ද..? මේ අර්බුදය වෙලාවේ ඊශ්‍රායලයේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා. අපේ රටේ අර්බුදයක් පෙනි පෙනී තමයි සියලුම පක්ෂවලට එකට එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටියේ.
අපිට ඊශ්‍රයාලයෙන් සහ පලස්තීනයෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අරගලය වෙලාවේ සිංහල මුස්ලිම් සියලු දෙනා එකට එකතු වුණා. හැබැයි ඒ වෙලාවේ කිසිම කෙනෙක් ඒකට නායකත්වයක් දීලා ඉස්සරහට ගියේ නැහැ.
ශ්‍රී ලංකාවේ අරගලය වෙලාවේ සිංහල, දෙමළ මුස්ලිම් හැමෝම එකට එකතු වුණා. හැබැයි ඒ වෙලාවේ කවුරුවත් මේකට මැදිහත් වුණේ නෑ. අපි අපේ දේශපාලන අනාගතය උකස් කරලා තීන්දුවක් ගත්තා. ඒ තීන්දු ගනිපු නිසා අපිට තවම උසාවි යන්න වෙලා තියෙනවා. අපි රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් යන විට නැවත ජාතිවාදී ගැටුමක් ඇති කර ගන්න විදියක් හොයනවා.
අරගලයන් නියෝජනය කළ ඇතැම් අයගේ සමාජ මාධ්‍ය දැක්කම, හිතෙන්නේ කුස ගින්නේදී විතරයිද මිනිස්සු එකට තියා ගන්න පුලුවන් වෙන්නේ කියලයි. බඩ ගින්න වෙලාවට විතරද ජාතික සමගිය ඇති වෙන්නේ. ලංකාවේ කුරුන්දි පුදබිම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පසුගිය කාලයේදී ඇති වුණා. කුරුන්දි පුදබිම ගැන කතා කරන්නේ නැතිව රටේ දේශපාලනයට ඉදිරියට යන්න බෑ කියලා සමහරු කිව්වා. මේක රට කළඹන ප්‍රශ්නයක් බවට පත් කරන්න හැදුවා.
ඒත් රටේ ජනතාව ඒකට කලබල වුණේ නෑ. අපිට පුද බිමකට වඩා වැටුනු ආර්ථිකය ගොඩ ගන්න තියෙනවා කියලා මිනිස්සු පෙන්නුවා. කුරුන්දි පුදබිම හරහා ජාතිවාදය උස්සන අයට කියන්න තියෙන්නේ ඊශ්‍රායලය හා පලස්තීනය දිහා බලන්න කියලයි. නැවත ප්‍රශ්න ඇති කරලා, යාන්තම් ගොඩ නගා ගෙන යන රට නැවත වට්ටන්න එපා. ඊශ්‍රායලය හා පලස්තීනය දෙස බලලා ඒක ඉගෙන ගන්න
ටික්ටොක් වගේ සමාජ මාධ්‍යවල පරණ බාමියන් බුදු පිළිම කඩා දාපුව නැවත අරගෙන ඇවිත් තියෙනවා. ඒවට අපේ රටේ සමහර දේශපාලන පක්ෂ සෘජුවම සම්බන්ධයි. ඒවා අරගෙන ඇවිත් නැවත අර්බුදයක් ඇති කර ගන්න එපා. ලෝකයේ ඉවර වුණ පරණ කුනු ගොඩවල් නැවත අරගෙන එන්න එපා. වින්ස්ක්‍රීන් එකෙන් බලන්නේ නැතිව සයිඩ් කන්නාඩිවලින් බලලා ඉස්සරහට යන්න බෑ. ඒ නිසා පරණ කුණු දිහා විතරක් බලලා ඉස්සරහට යන්න හිතන්න එපා. ආගමික හා ඓතිහාසික මිත්‍යා කතා තව දුරටත් ලෝකයට වලංගු වෙන්නේ නෑ. ඒවා ඇති කරන්නේ ලොකු විනාශයන් විතරයි.
යුද්ධයේ අත්දැකීම් ඇති වගේම යුද්ධයේ අත්දැකීම් නැති අය දැනුවත්ව හෝ නොදැනුවත්ව මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායම්වලට එක කාරණාවක් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා. මතක තියා ගන්න ලංකාවේ අතීතයේ ඉදලා මුස්ලිම් ජනතාව සමග තමයි වෙළද ගනුදෙනු තිබුණේ. ඒකට සාක්ෂි ඕනෑ තරම් සොයා ගන්න පුලුවන්. ඒ අය පිටුපස්සේ තමයි පෘතුගීසීන්, ලංදේසීන්, ඉංග්‍රීසීන් ආවේ. මේ අය තමයි ලෝකය සමග අපේ රට සම්බන්ධ කළේ. ඒ කාලේ ඉදලා අපි දෙගොල්ලෝ සහජීවනයෙන් ජීවත් වුණා.
මෑත කාලයේදී එළියෙන් අරගෙන ආපු ප්‍රශ්න හැරෙන්න අපි දෙගොල්ලන්ට ප්‍රශ්න තිබුණේ නෑ. එල්.ටී.ටී.ඊ. සංවිධානය අපිට ත්‍රස්තවාදීන් වුනණාට එලියේ අයට ත්‍රස්තවාදීන් වුණේ නෑ. හමාස්වරු ත්‍රස්තවාදීන් වෙන්නේ ඊශ්‍රායලයට. අපිට ඔවුන් ආයුද සන්නද්ධ කණ්ඩායමක් විතරයි.
ඒ දේවල් පටලවා ගෙන හුදු ආවේගයට වැඩ කරලා, අපේම සහෝදර ජනතාවට තවත් ගින්නක් ඇති කරන්න එපා. මේ අර්බුදය වඩාත් උත්සන්න වුණොත් රටක් හැටියට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එකටත් සූදානම් වෙන එක වටිනවා කියන එක තමයි මගේ අදහස.
ඊශ්‍රායල් පලස්තීන යුද ගැටුම් ඉක්මනින් අවසන් වෙලා ලෝකයට ඉක්මනින් සාමය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යල් පැන ගිය යුද්ධ නැවත ගොඩ නැගෙන අලුත් ලෝකය තුල ඇති නොවේවා. "
Lanka Newsweek © 2024