පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයන්ට යුක්තිය ඉටු කරලීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික කතෝලික කමිටුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්, පාස්කු ප්‍රහාරයේ විමර්ශන 99% අවසන් බවට සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කර තිබෙන බවත්, විමර්ශනයේ අඩංගු ඇතැම් සිද්ධි හා කරුණු සම්බන්ධයෙන් සැක මතුවන බවත්, ඒ සම්බන්ධව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව අවධාරණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳ සහ එහි විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ජාතික කතෝලික කමිටුවට ප්‍රශ්ණ කර ඇති බව කියා සිටි විපක්ෂ නායකවරයා,අදාළ ලිපිය මඟින් යෝජනා කර ඇති කරුණු තුන කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියා.
සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, පාස්කු සිදුවීම පිළිබඳ විමර්ශන ජාත්‍යන්තර ස්වාධින විමර්ශන කණ්ඩායමක අධික්ෂණය යටතේ සිදු කිරීමත්, ඒ සදහා පත්කෙරුණු දේශීය විමර්ශන කණ්ඩායම සඳහා විවිධ ප්‍රදේශවලට මාරු කර යැවුණු සී.අයි.ඩී. නිළධාරීන් ඇතුළත් කිරීමත්, චෝදනාවට ලක්ව සිටින උසස් නිලධාරීන්ගේ සේවය අදාළ විමර්ශනය අවසන් වනතුරු අත්හිටුවන ලෙසත් ජාතික කතෝලික කමිටුව ඉල්ලා ඇති බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාර්ථක වීමට නම් මෙහි සභාපතිවරයා නම් කිරීමේ අයිතිය විපක්ෂයට ලබාදෙන ලෙසත්, ආණ්ඩුව හා විපක්ෂය සම සමව නියෝජනය වන ලෙස එහි සංයුතිය සකස් විය යුතු බවත්, එසේ නොවන්නේ නම් විපක්ෂය ඒ සඳහා සහභාගී නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
Lanka Newsweek © 2023