Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


රට ගොඩනගන ජනපතිගේ වැඩ පිළිවෙළ සමග සියලු දෙනා එක් විය යුතුයි


2023-10-13 2283

 

ජනපති රට යථාතත්ත්වයට පත් කළා 

 

විදේශ සංචිතය ඩොලර් බිලියන 4 ඉක්මවලා  

 

සංචාරක කර්මාන්තයේ ආදායම 60.8%කින් වැඩි වෙලා  

 

ජාත්‍යන්තරයේ සහය ජනපතිටයි 

 

ආශු මාරසිංහ අවධාරණය කරයි 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට මුළුමනින්ම රට යථාතත්ත්වයට පත් කර ඇතැයි ද, එමනිසා රට ගොඩනැගීම සඳහා එතුමා ගෙන යන වැඩ පිළිවෙළ සමග සියලු පාර්ශවයන් දේශපාලන පක්ෂ, ජාති සහ ආගම් භේද ඉවතලා එකට ඒකරාශී විය යුතු යැයි ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ මහතා අවධරණය කර සිටියි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශුබෝධ මාරසිංහ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය. 

ජනතා අරගලයකින් අනතුරුව රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන මොහොතක, මතක් කළ යුතු කාරණයක් තමයි පොහොර පිළිබද ප්‍රශ්නය තුළ දී ගොවීන් පවා අරගලයට දායකත්වය දැක්වූවා. මහ කන්නයට අවශ්‍ය පොහොර නැති වෙයි කියන බිය හැමෝටම තිබුණා. දැන් ඒ අවශ්‍ය පොහොර නිසි පරිදි ලබා දීලා තිබෙනවා.දෙවෙනි වටයත් ආරම්භ කරලා තිබෙනවා.

ඒ වගේම ගුරුවරු දස දහසක් පමණ බදවා ගන්නට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙනවා. ඒ වගේම විදුහල්පතිවරු හය දහසක් පමණ  ප්‍රමාණයක් විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය කරන්න සූදානම් වෙනවා. ඊට අමතරව උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමකුත් සිදු වෙනවා. මේ සියල්ලටම මුදල් රජය හොයා ගෙන තිබෙනවා.  ඒ වගේම තෙල් සංස්ථාවේ දූෂණ පිළිබද හොඳින් සොයා බලා ඒ සියලු දේවල් නැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ වගේම විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ ප්‍රමාණයකට පැමිණ තිබෙනවා. ඒ වගේම රජය මේ වෙන කොට වාහන හැරෙන්නට අනෙකුත් සියලුම භාණ්ඩ ආනයනය කර තිබෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත සහ නිෂ්පාදන අංශවලට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම මේ මොහොතේ සිදු වෙනවා.  

නමුත් මේ අර්බුදයත් එක්ක අපි පුරුදු වී තිබෙන්නේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් පරිභෝජනය කිරීමට. ඒ නිසා ආනයන ලිහිල් කළත්, අපි ඒ ගෙන ගිය තමන්ගේ භූමිය වගා කර ගනිමින් ස්වයංපෝෂිත ක්‍රමවේදය තුළ හිඳිමින් මේ දේවල් පරිභෝජනය කිරීම තමා වැදගත් වෙන්නේ කියන එක මතක් කළ යුතුයි.  

ඒ වගේම සංචාරක කර්මාන්තයට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ බදු අය කිරීමක් තුළ යම් පාලනයකට යටත් කිරීමට හැකියාව තිබෙනවා. විදේශිකයින්111938 ක් ප්‍රමාණයක් සැප්තැම්බර් මාසය තුළ පමණක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එය ගිය වසරට  සාපේක්ෂව බැලූවොත් සියයට 75ක පමණ වැඩි වීමක් වාර්තා වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 152ක  ආදායම් වැඩි වීමක් සිදු වෙලා තිබෙනවා.  

2023 ජනවාරිවල ඇමරිකන් ඩොලර් මිලියන 437 ක්, පෙබරවාරිවල  407 ක්, මාර්තුවල  568ක් අප්‍රේල්වල මිලියන 454ක්, මැයි මාසයේ  මිලියන 479ක්, ජූනිවල 475ක්, ජූලිවල මිලියන 541ක්, අගෝස්තුවල මිලියන 499ක්, සැප්තැම්බර්වල මිලියන 482ක්, දළ වශයෙන් ලැබිලා තිබෙනවා. (සියලුම සංඛ්‍යා ඇ. ඩො මි.වලිනි.) 

2022 සමග සංසන්දනය කිරීමේ දී 2023 දී සියයට 60.8 ක ඉහළ යාමක් වාර්තා වෙලා තිබෙනවා. යම් ප්‍රමාණයකට රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඉන්න බව අපට පෙනෙනවා. නමුත් වසරකට පෙර තිබූ තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට රට පත් වෙලා තිබෙනවා. 

විශේෂයෙන්ම ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මේ ප්‍රගතිය දැකලා, තොරතුරු තාක්ෂණය, මානව සම්පත් කලමනාකරණය, පොදු ප්‍රවාහනය, අධ්‍යාපනය, ජල සම්පාදන කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වැනි අංශවලට ආධාර කරන්න සූදානම් බව ප්‍රකාශ කරලා තිබෙනවා. 

නමුත් රටේ ඉහළ මට්ටමේ කරන තීරණ පහළ මට්ටමේ නිලධාරීන් වෙත ගමන් කිරීමේදී අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම රටේ වැඩ නොකර රටේ ප්‍රශ්න වෙනත් පැත්තකට යොමු කරන නිලධාරී කණ්ඩායමකුත් රටේ ඉන්න බව ඔබට පෙනෙන්නට තිබෙනවා.  

ග්‍රාම නිලධාරී, කෘෂි නිලධාරී,  සමෘද්ධි නිලධාරී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වැනි අයට ලබා දිය යුතු පහසුකම් වර්ධනය කරනවා.  ඒ වාගේම පසුගිය කාලේ ඉන්දියානු ණය ආධාර ලබාදීම යම් ප්‍රමාණයකට මන්දගාමී වෙලා තිබුණා. ඉන්දියානු විදේශ අමාත්‍ය ජයෂන්කර් මැතිතුමා ලංකාවට පැමිණීමත් සමග මේ ගැන සාකච්ඡා කරලා නැවතත් ඒ ක්ෂේත්‍ර සියල්ල හඳුනා ගෙන ඒවාට අවශ්‍ය ආධාර සැපයීම වේගවත් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම  පිළිබඳව සාකච්ඡා කළා.

විශේෂයෙන්ම මන්නාරම -අනුරාධපුර නිවාස ව්‍යාපෘතිය, පාසල් විසි හතක් නවීකරණය කිරීම, පොළොන්නරුවේ බහු වාර්ගික ත්‍රෛභාෂා පාසලක් ඉදි කිරීම, යාපනයේ වර්ෂා ජලය එකතු කරන ස්ථාන 2809ක් ප්‍රතිස්ථාපනය කිරීම, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙට්‍රික් ටොන් 5000 ගබඩා කළ හැකි ශීතාගාර ස්ථාපිත කිරීමට, මඩකලපු ශික්ෂණ රෝහලට නව ශල්‍යාගාරයක් ලබාදීමට, ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන්නට ඉන්දියාවේ අමුල්  සමාගම සහ කාගිල්ස් සමාගම එකතුවී ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයත් එක්ක එකඟතාවයකට පැමිණිමත්, පලවෙනි අවුරුදු පහ ඇතුලත ලංකාවේ කිරි  නිෂ්පාදනය සියයට 53 කින් ඉහළ දැමීමටත්, වසර පහළොවක් යන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් කිරිවලින් ස්වයංපෝෂිත කිරීමටත් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.  

ඒ වගේම ලක්ෂ දෙකක් අලුතින් කිරි ගොවීන් බිහිවීම මෙහිදී සිදු වෙනවා. ඒ වගේම ලබන සතියේ ජනාධිපතිතුමා චීනයේ සංචාරයක නියැලීමට නියමිතයි. දැනටමත් චීන එක්සිම්  බැංකුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එකතු වෙනවයි, කියන ප්‍රකාශය නිකුත් කරලා තිබෙනවා. චීනයේ මේ ප්‍රකාශයත් එක්ක අනෙකුත් පාර්ශවයන් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව හොඳ පිබිදීමකට ලක් වෙලා තියෙනවා. ඒ අනුව අපේ විදේශ ප්‍රතිපත්තිය, නොබැඳි පිළිවෙත පිළිබඳව ඉතා හොඳ ප්‍රතිරූපයක් රටවල් තුල ඇති වෙලා තිබෙනවා.ඒ  නිසාම ඒ අය  එක්ක මේ ණය ප්‍රතිව්‍යුහගතකරනය කිරීමේ වැඩපිළිවෙළ අවසන් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. 

කොළඹ ගුවන් කතිකාව තුළින් ආසියානු කලාපයේ ගුවන් ගමන්  සිදු වීම පිළිබදවත්, ඒ වගේම ගාලු කතිකාව සහ මේ දවස්වල සිදු වන ඉන්දියානු සාගර කලාපිය වටද්දර රටවල්වල සාකච්ඡාවක් සමග ඉතා හොඳ තැනකට විදේශීය සබඳතා වර්ධනය කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම සියලුම ජාතීන්, ආගම් නියෝජනය කරමින් එක රටක් විදිහට ඉදිරියට යෑමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් මේ මොහොතේ නිර්මාණය වෙමින් පවතිනවා.


බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ විධායක සභික චතුර පෙරේරා මහතා දැක්වූ අදහස්, 

අනාගතයේ බිහිවන තරුණයින්ට අවශ්‍ය ශ්‍රමය, බිහි කිරීමට නම් තොරතුරු තාක්ෂණය පිළිබඳ වෙනම පරිච්ඡේදයක් ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.  අපේ අතීතයේ තේ, පොල් රබර් ඒ වගේම වෙනත් අපනයන බෝග මත පදනම් වූ ආර්ථිකයක් තමා ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණේ.  

නමුත් තොරතුරු තාක්ෂණය සහ හරිත ආර්ථිකය මූලික කරගත්ත ඉදිරි ලෝකෙක තමා අපිට ජීවත් වෙන්න වෙන්නේ.එම නිසා එවැනි විෂය පථයන් පිළිබඳව වැඩි අවධානයකින් අප කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා.  එමනිසා පාසල් ශිෂ්‍යයන් සහ තරුණ ප්‍රජාව වෙනුවෙන් සකස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනකොට සකස් කරමින් යනවා.  තොරතුරු තාක්ෂණය සහ හරිත ආර්ථිකය මූලික කරගත් විශ්වවිද්‍යාලය තුනක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා මේ වෙනකොට කටයුතු සැලසුම් කර තිබෙනවා.  

ඒවගේම කාර්මික විද්‍යාල හාරසිය පනහකට මේ විශේෂයන්  ඇතුලත් කිරීමට අනාගතයේදී අවශ්‍ය කෙටුම්පත් සකස් කරලා තිබෙනවා.  ඒ වගේම පාසල් අධ්‍යාපනය තුළට මේ විෂයයන් ඇතුළත් කිරීමට ඉදිරි වසර කීපය තුළ පියවර ගන්න බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ නිසා වර්තමාන තරුණ තරුණයින් මේ ක්‍රමවේදයන් වලට එකඟත්වය පළ කරමින් රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ජනාධිපතිවරයාට සහාය දැක්විය යුතු කාලය එළඹ තිබෙන බව මතක් කළ යුතුයි.

ඊශ්‍රායල් යුද්ධයේදී අපට හොඳ ආදර්ශයක් ලබා ගත හැකි දෙයක් වෙනවා. ඒ තමයි ඊශ්‍රායල අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ජාතික එකඟතාවක් ඇති කර ගෙන රට මුහුණපාන ගැටලුවේදී එකට සිට ගැනීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. දේශපාලන භේදයන් පසෙකලා එකට එකතු වීමට ඊශ්‍රායලය මේ මොහොතේ ගත් තීරණය ශ්‍රී ලංකාවට හොඳ ආදර්ශයක් සපයනවා. ශ්‍රී ලංකාවත් ආර්ථික වශයෙන් යුද්ධයක ඉන්න මොහොතක ශ්‍රී ලංකාවේ විපක්ෂයටත් වෙනත් දේශපාලන පක්ෂවලටත් දැන් තිබෙන කාර්යභාරය මෙය බව වටහා ගත යුතුයි. 

ඒ වගේම ඊශ්‍රාලයේ විදේශගත වෙලා හිටපු තරුණ තරුණියන් තම රටට ඇවිල්ලා, රට වෙනුවෙන් මේ මොහොතේ ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. තමන්ගෙ රට අර්බුදයක තියෙන වෙලාවක තරුණ තරුණියන්ගෙන් යුතුකම ඉටු කරන්නට ඔවුන් ඉදිරියට එනවා.එයත් අප රටේ තරුණ තරුණියන්ට හොඳ ආදර්ශයක් බව මතක් කළ යුතුයි. එනිසා විපක්ෂනායකගෙන්, අනුර කුමාර දිසානායකගෙන්, තරුණ තරුණයින්ගෙන් ඉල්ලන්නේ එන්න, එකතු වෙලා මේ රට ගොඩගන්න.මේ යන ගමනට ඊශ්‍රායලයේ ආදර්ශයත් වත් අරගෙන එකතු වෙන්න කියන එක අපි මතක් කරන්නට කැමතියි.

 

 

Advertiesment