පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බවත්, එහිදී සතා සිව්පාවා, ගහකොළ සේම මානව සම්පත පිළිබඳවත් දත්ත අතිශ්‍ය වැදගත් බවත්, මෑත කාලයේ සිට පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති උනන්දුව වැඩිවීම සුබවාදී බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, වන අලි ගැටලුව, වන ජීවී පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභාවට එක්වෙමිනි.
වන ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වන ජීවී දෙපාර්තමේන්තුවේ මානව සහ භෞතික සම්පත් වර්ධනය වීම සිදු විය යුත්තක් බවත්, වසර 10 කට අධික කාලයක් ස්වෙච්ඡා සේවකයන් ලෙස කටයුතු කරන පිරිසක් මෙම දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන බැවින් විධිමත් ස්ථිර බඳවා ගැනීමේ ක්‍රියාවලියක් ඔස්සේ ඔවුන්ගේ සේවය ලබා ගැනීම වන ජීවීන් සහ ප්‍රජාව අතර ගැටුම් පාලනයට හේතුවක් වනු ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
වන ජීවී දෙපාර්තමේන්තුව පවා වන සම්පත මූලික කර ගත් ව්‍යවසායකයකු විය යුතු බවත්, දෙපාර්තමේන්තුවට අයත් කඳවුරු භූමි සංචාරකයන්ට විවෘත කර, ඒ තුළින් ආදායම් උත්පාදනය කළ හැකි බවත්, විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන්ම පැරණි අත්දැකීම් සහිත පුද්ගලයන් යොදවා වන ජීවී ප්‍රේරණ කලාප ආශ්‍රිතව වන ජීවී නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දිය යුතු බවත්, ඊට අමතරව හරිත පුරවැසි වැඩ සටහනක් ක්‍රියාවට නංවමින්, ජනතාවද වන ජීවී සංරක්ෂණය සඳහා යොදා ගැනීමට හැකි බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
පාසැල් මට්ටමේ සිට පාරිසරික අධ්‍යාපනය ලබා දීම සහ ප්‍රජා පොලිස් වැඩ සටහන් ක්‍රියාවට නැංවීමත් වැදගත් වන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
Lanka Newsweek © 2024