Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


2024 ජාතික මැතිවරණ කල් දැමීමට ඒකාධිපති ආණ්ඩුවට ඉඩ තබන්නේ නැහැ  


2023-10-09 3254

 

ජනතා පරමාධිපත්‍යට එරෙහි සියලු ක්‍රියා මාර්ග ජනතා බලය යොදවා පරාජය කරනවා

 

2024 මැතිවරණ ද කල් දැමීමට ආණ්ඩුව කුමන්ත්‍රණය කරන්නේ "මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නැමැති" අයිසින් තැවරූ කේක් කෑල්ල දිගු කරමින් 

 

විපක්ෂ නායක අවධාරණය කරයි    

 

2024 පැවැත් වීමට නියමිත ජාතික මැතිවරණ ජනතා පරමාධිපත්‍ය මර්දනය කරමින් කල් දැමීමට ඒකාධිපති ආණ්ඩුවට ඉඩ තබන්නේ නැතැයි ද, ඒ සඳහා ඒකාධිපති ආණ්ඩුව ගන්නා සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ග ජනතා බලය යොදවා ඒකාන්තයෙන් ම පරාජය කරන්නේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

වත්මන් ආණ්ඩුවේ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවලියට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

මේ වන විටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්විමට නියමිත මැතිවරණත් කල් දැමීම සඳහා අවශ්‍ය කරන කූඨ උපක්‍රම සහ පිඹුරුපත් සකසමින් සිටින බව නොරහසකි.

ඊට ආණ්ඩුව සූදානම් වන්නේ  "මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නැමැති" අයිසින් තැවරූ කේක් කැබැල්ල දිගු කරමිනි. එය විෂ තැවරූ කේක් කැබැල්ලක් බවත් ඒවාට මේ රටේ ජනතාව නොරැවටෙන බවත් ආණ්ඩුවට අවධාරණය කළ යුතුය.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමග සෙල්ලම් කරන වර්තමාන ආණ්ඩුව එහි තීරණාත්මක ආරම්භය සනිටුහන් කළේ පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණය අනීතික ලෙස කල් දමමිනි.

ජන වරමක් නැති පාලකයන්ට ජනතාවගේ ආශිර්වාදය කෙලෙසකවත් හිමි වන්නේ නැත. එහෙත්, අවස්ථාවාදී ලෙස බලය ඩැහැ ගත් පාලකයන් ජනවරම හෝ ජනතා කැමැත්ත පිළිබඳව මායිම් නොකොට විවිධ දේශපාලන උපාය උපක්‍රම භාවිතා කරමින් සිය පාලන කටයුතු කර ගෙන යෑමට දරන උත්සාහයේ අවසානය ඛේදවාචකයක් බව මුළු ලෝකයෙන්ම අත්දැකිය හැකි සත්‍යයි.

එමෙන්ම මෙරට ද මැතිවරණ කල් දැමීමෙන් සිදුව ඇති ඛේදවාචකයන් පිළිබඳව ඕනෑ තරම් උදාහරණ ලබා ගත හැකි අතර වර්තමාන ආණ්ඩුව සූදානම් වන්නේ නැවතත් අන්ධකාර අතීතයකට මේ රට රැගෙන යාමටදැයි අපි ප්‍රශ්න කර සිටිමු

ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ කල් දැමීම හෝ මැතිවරණ නොපවත්වා සිටීම රටක ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කර ගනිමින් එල්ල කරන බරපතළ ප්‍රහාරයක් බව නොරහසකි.

"මැතිවරණය කල් දමන්නේ නෑ, කල් දමන්න මැතිවරණයක් නැහැ"යනුවෙන් ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව තුළම උපහාසයෙන්, අපහාසයෙන් සහ නින්දා සහගත ලෙස සුනු විසුනු කළ ජනාධිපතිවරයෙක් සිටින ආණ්ඩුවකින් මැතිවරණයක් බලාපොරොත්තු වීම සිහිනයක් පමණක් වන නමුත්, ඒ දුර්දාන්ත ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට අප සූදානම් බවද ආණ්ඩුවට අවධාරණය කරනු කැමැත්තෙමු.

ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය මර්දනය කිරීමට ඒකාධිපති ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව විසින් ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ජනතා බලය මගින් ඒකාන්තයෙන්ම ම පරාජය කරන බවද අපි ආණ්ඩුවට අවධාරණය කරමු.

Advertiesment