Sunday 13th of October 2024

English Tamil
Advertiesment


රටේ රජකරන ගොබ්බ කමේ ප්‍රභවය කොතැනද..?


2023-10-02 14328

 

(වික්ටර් අයිවන්)

 

රටේ තිබෙන දේශපාලන පක්ෂ පවතින පසුගාමි සමාජ ආකල්ප හා මතවාද වෙනස් කිරීම සඳහා ක්‍රියා නොකොට ඒ වෙනුවට සමාජයේ පවතින පසුගාමි මතවාද හා ආකල්පවලට අනුගතවී ඒවා පෝෂණය කරන තත්වයකට පත්වූ විට එම සමාජය පහසුවෙන් වෙනස් කළ නොහැකි එක තැන පල් වන පසුගාමි සමාජයක් බවට පත්වනවා පමණක් නොව ඒ රටේ දේශපාලන පක්ෂද ඉදිරිගාමි කාර්‍යභාරක් ඉටු කිරිමේ  හැකියාවක් නැති ඓතිහාසික වශයෙන් යල්පැනගිය දේශපාලන පක්ෂ බවට පත්වේ. 

අපේ රටේ සියලු දේශපාලන පක්ෂ හසුවී තිබෙන්නේද එම විශම චක්‍රයටය. සමාජ ආකල්ප නූතන කිරීම සඳහා නිදහස් අරගල කාලයේදී ඉන්දියානු කොංග්‍රසය ඉටු කරන ලද කාර්‍යභාරය සමග සසදන විට ලංකාවේ සමස්ත දේශපාලන පකෂ ක්‍රමය සැලකිය හැක්කේ ඉතාමත් පසුගාමි දේශපාලන පක්ෂ ක්‍රමයක් වශයෙනි. ඉන්දියානු කොංග්‍රස් පක්ෂට ඉන්දියාවේ ඉතිහාසය ගැන තමන්ගේම වන විග්‍රහයක් තිබුණි. එම විග්‍රහය තුළින් සිය රටේ  ඉතිහාසයේ හොඳ පමණක් නොව නරකද දැක්කේය. ඉන්දියාව යටත් කර ගෙන සිටින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ගැනද එයට විග්‍රහයක් තිබූණු අතර ඒ මගින්  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ නරක ලක්ෂණ පමණක් නොව හොඳ ලක්ෂණ ද දකින්නට සමත් විය. නිදහසෙන් පසු තෝරා ගත යුතු ගමන් මාර්ගය ගැනද එයට හොඳ විග්‍රහක්ද තිබුණි.

වර්ගය, කුලය හා ආගම මුල් කොට ගෙන සමාජයේ පැවති පසුගාමි බෙදීම්වලට එරෙහිව කොන්ග්‍රසය කරන ලද මතවාදි අරගලයේ පරිමාව අති විශාලවූ අතර එය ඉන්දියානු සමාජය කෙරෙහි ඇති කළ බලපෑමේ තරමද අති විශාල විය. දේවාලවලට ඇතුළු වීමේදී පීඩිත කුලවල ජනයාට පනවා තිබු තහංචිවලට  එරෙහිව රට පුරා තිබෙන දේවාල වටලා විරෝධතා පවත්වන ලද අතර ඒ නිසා බොහෝ දේවලවලට එම අමානුෂික තහංචි ඉවත් කර ගැනීමට සිදු විය. මහත්මා ගාන්ධිට හින්දු අන්තවාදි තරුණයෙකු අතින් මිය යන්නට  සිදු වූයේද මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හින්දු අන්තවාදි ආකල්පවලට එරෙහිව කරන ලද මතවාදි අරගලය නිසාය. ඉන්දියාවේ පැවති පසුගාමි ආකල්පවලට එරෙහිව ඉන්දියානු කොංග්‍රසය  කරන ලද මතවාදි  අරගලය ඉන්දියාව නූතන ඉන්දියාවක් බවට පත් කිරීමට බලපෑ වැදගත්ම සාධක ලෙසද සැලකිය හැකිය.

ලංකාව ඉන්දියාව මෙන් සටන් කොට නිදහස දිනා ගත් රටක් නොවීය. ලංකාවට ලැබුණ නිදහස ඉංග්‍රීසින්ගෙන් තෑගි ලැබුණු නිදහසක් ලෙසද සැලකිය හැකිය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය අහිංසාවාදි සටන් ක්‍රම මත පදනම්වූ ශක්තිමත් ඉදිරි දර්ශනයක් සහිත ප්‍රජාතත්ත්‍රවාදි රාමුවක් මත ක්‍රියාත්මක් වූ පරිනත නායකයන් ගෙන් සමන්විත සටන්කාමි බහු ජන ව්‍යාපාරයක් විය. ලංකාවේ නිදහස් ව්‍යාපාරය අලුත ඇතිව තිබූ ධනපති ක්‍රමය තුළ ධනවතුන් බවට පත්ව සිටි අයගේ දරුවන් සුළු පිරිසකට සිමාවූ නිදහස දිනා ගැනීම පිණිස යහපත් ඉදිරි දර්ශනයක් හා ඒමත පදනම්වූ ප්‍රායෝගික වැඩ සටහනක් නොතිබුණ ඉංග්‍රීසින්ට කරන කරුණු පැහැදිලි  කිරීම් හා ආයචනාවලට  සීමාවූ ව්‍යාපාරයක් විය.

ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ  නායකයින්ට මෙන් ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ නායකයින්ට දියුණු චින්තනයක් නොතිබුණි. ඒ නිසා එම ව්‍යාපාරය අතින් ලංකාවේ චින්තනය කෙරෙහි  කිසිදු ඉදිරි ගාමි බලපෑමක් සිදු නොවීය. සිංහල බෞද්ධයින් කෙරෙහි දෘෂ්ටිමය වශයෙන් වැඩිම බලපෑමක් ඇති කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලය. එතුමාගේ චින්තනය බාහිර පෙනුමෙන් අධිරාජ්‍ය විරෝධි හා සටන්කාමි වුවත් දරන ලද බොහොමයක් අදහස් පසුගාමි හා ප්‍රතිගාමි වී යැයි කිව හැකිය.

වර්ගය, කුලය හා ආගම මුල් කර ගත් සම්බන්ධතා සියලු දෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතු වන ලෙස වෙනස් කර ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට තිබුණ අසමත්කම ලංකාව නිදහසේ සිටම වරද්දා ගත් ලොකුම පුපුරන සුලු සමාජ- දේශපාලන ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. බර්ගර් ජනවර්ගය යටත් විජිතවාදය නිසා අලුතෙන්ම ලංකා සමාජයට එකතුවී තිබුණු විචිත්‍ර ජනවර්ගයක් විය. නිදහසට පෙර ස්වදේශික ජනවර්ග අතරින් වැඩිම උගත්කමක් තිබුණෙ ඔවුන්ටය. රාජ්‍යය සේවයේ කොඳු නාරටිය ලෙස  ක්‍රියා කළේද ඔව්හූය. අපි ඔවුන් සලකන ලද්දේ අවක්ඥාවෙනි. ඔවුන් හදුන්වන ලද්දේ කැරපොතු ලංසීන් ලෙසිනි. බරගර් විරෝධය යට තිබුණේ බර්ගර්වරුන් අත්පත් කර ගෙන සිටි රාජ්‍යය සේවයේ උසස් තනතුරු අල්ලා ගැනීමේ අභිලාෂය යි. තමන්ට මේ රටේ අනාගතයක් නැති බව තේරුම් ගත් බර්ගර්වරුන් නිදහසට ආසන්නයේ සිටම තොග ගණනින් ලංකාව අතහැර ගියහ. ඒ නිසා රටට අහිමිවූ සමාජ ප්‍රාග්ධනයේ වටිනාකම අති විශලය. 

ලංකාව කොතරම් මෝඩ හා කුහක රටක් ද කියනවා නම් ආසියාවේ ෆිකාසෝ ලෙස සැලකෙන්නේ ජෝර්ජ් කීට්‍ ය. එහෙත් තාමත් අපි ජෝර්ජ් කීට් ලංකාවේ අපේ කෙනෙකු බවට  පත් කර ගෙන නැත.  නිදහසේ තීන්ත වේලෙන්නටත් පළමුව වතුකරයේ ඉන්දියානු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලංකාව අනුගමනය කළ ප්‍රතිපත්තිය ඉතාමත් රළු පරුෂ වනවා සේම අසාධාරණ ද වී යයි කිව හැකිය. ඒ මගින් ඔවුන්ට සිදුවූ හානියේ තරම අති විශාලය. 

අපේ ඊළඟ ගොදුර බවට පත් වූයේ දමිළයන්‍ ය. 56 බණ්ඩාරනායක සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරු වන්නට පෙර සිංහල හා දෙමළ යන භාෂා දෙකම රාජ්‍යය භාෂා කළ යුතුය යන්න බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂ පිළි ගත් භාෂා ප්‍රතිපත්තිය විය. බණ්ඩාරණායක සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරු වූයේ බල ලෝභි අරමුණු සපුරා ගැනීම සදහා යොදා ගත හැකිව තිබූ පහසු මාර්ගයක් වශයෙනි. ඒ සමග එජාපයද එතෙක් පිළි ගත් ප්‍රතිපත්තිය අත හැර සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරු විය. අවසානයේ සාධාරණ, රටේ පොදු යහපතට හා ආරක්ෂාවට හේතු වන ඉදිරිගාමි  භාෂා ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියේ සමසමාජ  හා කොමියුනිස්ට් යන වමේ පක්ෂ දෙක පමණය. භාෂා විවාදයේදී කොල්වින් කීවේ රාජ්‍ය භාෂා දෙකක් එක රටකුත් එක රාජ්‍ය භාෂාවක් රටවල් දෙකකුත් ඇති කිරීමට හේතු වනු ඇති බවය. භාෂා ප්‍රශ්නය අශ්‍රයෙන් අනාගතය විනිවිදව දකින්න හැකියාවක් තිබූ කොල්වින් ඇතුළු එම වමේ  පක්ෂ දෙකද ඉන් වසර 08 කට පසුව සිංහල වර්ගවාදි පෙරහරට එක්තු වූවා පමණක් නොව කොලිවින් තමන් 1972 දී හැදූ ජනරජ ව්‍යවස්ථාවට ද සිංහල පමණක් ප්‍රතිපත්තිය ඇතුළත් කිරීම මගින් එය වෙනස් කිරීම පහසු නැති ගල්ගැසුණු දෙයක් බවට පත් කළේය. 

පසු කලකදී නව වමක් වෙනුවෙන් පෙනී සිටි විජේවීර ගමන් කළේද එම  වරගවාදි පෙරහැරේය. ශන්මුගදාසන් විජේවීරව පක්ෂයෙන් ඉවත් කළේ දෙමළ විරෝධි පෙළපාලියක් ලෙස සැලකිය හැකි 1966 ජනවාරි 08 වනදා දෙමළ භාෂා විශේෂ විධිවිදාන පනතට එරෙහිව ලංකා සම සමාජ කොමියුනිස්ට් හවුල පවත්වන ලද පෙළපාලියට සහභාගි වීය යන චෝදනාව යටතේය. දෙමළ විරෝධි වර්ග වාදි අදහස්වලට සටන්කාමි වාම පෙනුමක් ලබා දුන් පුද්ගලයා වන්නේද විජේවීරය. දෙමළ වතු කම්කරුවන්ට වඩා සිංහල හේන් ගොවියා දුප්පත් හා පීඩිත බවට ඔහු තර්ක කළේය. ගංවතුර හා සෝදා පාලුව වැළකීමට මධ්‍යම කඳුකරය නැවත වනාන්තර බවට පත් කළ යුතු බවද ඔහු කීවේය.

විජේවීර ලංකාවේ දෙමළ ජනයා විග්‍රහ කළේ ඉන්දියාවට සිය ව්‍යාප්තවාදී අරමුණු සඳහා පාවිච්චි කළ හැකි ජන කණ්ඩායමක් ලෙසය. දෙමළ ජනතාව ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දිගින් දිගට සාම කාමි උද්ගෝෂණ ව්‍යාපාරවල නිරත වී අවසානයේ 1961 පෙබරවාරිවලදී ෆෙඩ්‍රල් පක්ෂය උතුරු නැගෙනහිර දෙපාළාතේ සිවිල් නීති කඩන ව්‍යාපාරයක් දියත් කළේය. එය එක  දිගට දින 55 ක කාලයක් පැවති එම සාමකාමි සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරය පරාජය කරනු ලැබුවේ ඇඳිරි නීතිය හා හදිසි නීතිය පනවා චෙල්වනායගම් ඇතුළු ෆෙඩ්‍රල් පක්ෂ නායකයින් 51 දෙනෙකු අත් අඩංගුවට ගෙන දින 170ක් පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තැබීම මගිනි. තමන්ගේ අයිතිවාසිකම් සාමකාමි සටන් ක්‍රියා මාර්ගවලින් දිනා ගත හැකි දෙයක් නොවන බව පෙනුන විට දෙමළ තරුණ පරපුර ප්‍රචණ්ඩ මාවත තෝරා ගනු ලැබූ අතර ඒ වෙනුවෙන් පොදුවේ රටටද විශේෂ වශයෙන් දෙමළ ජනතාවටද ගෙවන්නට සිදුවූ වන්දිය අති විශාලය.

සිංහල දකුණේ ඇතිවූ ජේවීපී කැරලි දෙක කෙරෙහි හා දෙමළ උතුරේ ඇතිවු දිග්ගැස්සුන එල්ටීටීඊ කැරැල්ල කෙරෙහිත් වෙනත් සාධකවලට අතිරේකව කුලය ද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය. ජේවීපී දෙවෙනි කැරැල්ලෙන් පසු 1990 දී ජනාධිපති ප්‍රේමදාස  පත් කළ තරුණ අසහන කොමිෂමේ මතය වූයේ දකුණේ සිංහල කැරලි හා උතුරේ දෙමළ කැරලි කෙරෙහි කුලය වැදගත් සාධකක් ලෙස බලපෑ බවය. ජේවීපී දෙවැනි කැරැල්ල වැඩියෙන්ම පැතිරුණේ වහුම්පුර හා බත්ගම කුලවලට අයත් ජනයා බහුල ගම්වල බවද එම වාර්ථාවේ සදහන්වේ. 

කුලය මුල් කර ගත් උස් පහත් බේද සේම වර්ග ආගම් බේද නැති කොට සමාජය සමානතා පදනමක් මත ඒකාග්‍ර කළ යුතුව තිබුණේ නිදහස ලැබීමත් සමග වුවත් අපේ රටේ නායකයින් එය ඉබේ සිදු වන්නට ඉඩ හැර බලා සිටියා මිස එකාග්‍ර කිරීමකට හේතු වන ප්‍රතිසංස්කරණ ඇති කළේ නැත. කුලය ඉපැරණි කාලයේදී නියම කරන ලද වෙනස් කළ නොහැකි ඉරණමක් ය යන විශ්වාසය නිසා පරණ වැඩ වසම් කාලයේදී තමන්ට වඩා උසස් කුලීනයන්ට මෙහෙවර කිරීම තමන් වෙත පැවරී ඇති යුතුකම සේ කුලහීනයෝ නිහඬව පිළි ගත්හ. පරණ වැඩ වසම් රාජාආණ්ඩු යුගයේදී ගොවි කුලය උත්තම ස්ථානහෙහි ලා සැලකුණු අතර අන් සියලු දෙනා සැලකුනේ අඩු කුල ලෙසය. වැඩවසම් ක්‍රමයක් පැවති එම යුගයේදී කුල ක්‍රමය ගිහි පැවිදි යන දෙපක්ෂයේම පරිපාලනය මෙහෙයවීය. අය බදු ගැනීම හැසිරවීය. සියලු සමාජ සම්බන්ධතා පාලනය කළේය. බ්‍රිතාන්‍ය යුගයේදී ඇතිවී වර්ධනය වෙමින් පැවති ධනේශ්වර  ක්‍රමය හා කුල ක්‍රමය මත පදනම් වූ ශ්‍රම විභජන ක්‍රමය ගැලපුණේ නැත. 

1832 ඇති කළ කොල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් කුලය මත පදනම් වු රජයට කළ යුතු සේවාවන් හෙවත් රාජකාරි ක්‍රමය අහෝසි කරන ලදී. ඒ සමග නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයින් ලෙස සලකන ප්‍රතිපත්තියක් ද ඇති කරන ලදී. ඒ නිසා කුලය මත පිහිටා රජයට වැඩවසම් සේවාවන් කිරීමට බැඳී සිටි අයට එම ක්‍රමයෙන් ඉවත්වී තමන් කැමති වෙනත් රැකියාවක නිරත්වීමේ අයිතිය ලැබුණි. එහෙත් ඇති කරන ලද මේ වෙනස් කම් නිසා ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවති කූල ක්‍රමය හෝ ඒ නිසා ඇතිව තිබූ උස් පහත් බේදය මුලුමනින් අවසන් වූයේ නැත. නිදහසත් සමග ඒ සදහා ප්‍රතිසංස්කරණ ඇති කිරීමක් සිදු නොවූ අතර 1989 ජේවීපී දෙවෙනි කැරැල්ල පරාජ කිරීමෙන් පසුව හෝ 2009 එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමෙන් පසුව හෝ ඒ සදහා වන ප්‍රතිසංස්කරණ සිදු කිරීමක් සිදු නොවීය.

සියලු දේශපාලන පක්ෂ සිය බල දේශපාලන වුවමනාවන් සඳහා කුල සාධකය විවිධ අකාරවලට පාවිච්චි කරති. ජේවිපිය සහ එල්ටීටීඊය ද සිය කැරලි සඳහා පීඩිත කුල සාධකය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත්තේය. විජේවීර හා ප්‍රභාකරන් යන දෙදෙනාම අයත් වූයේ සිංහල හා දෙමළ කුල ක්‍රමයේ අතර මැදි තත්ත්වයක් නියෝජනය කළ කරාව හෝ කරයාර් කුලයටය. ඒ දෙදෙනාම තමන්ට පමණක් දෙවැනි වූ නියෝජ්‍ය නායකත්වය ලබා දී තිබුණේ සිංහල හා දෙමළ කුල ක්‍රමයේ පීඩිතම තත්ත්වයක් නියෝජනය කළ පුද්ගලයන් දෙදෙනකුට. ( උපතිස්ස ගමනායක හා තමිල් සෙල්වම්)  එම සංයෝජනය පීඩිත කුලවල ආකාර්ශනයට හේතු වන්නට ඇති බවට ද සැකයක් නැත. එහෙත් මේ පක්ෂ දෙක ( ජේවීපිය හා එල්ටීටීඊය ) තමන්ගේ කැරලි සදහා "පීඩිත කුල සාධකය "උපරිම ලෙස පාවිච්චි කළ ද පීඩිත කුල ගණයට වැටෙන ජනයා ඔවුන් සිටින පීඩාකාරි තත්ත්වයෙන් මුදා ගැනීම සදහා ඔවුන්ට විමුක්තිය හෝ යුක්තිය ඉටු කිරීම සදහා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ හෝ වෙනස්කම් ගැන කථා කර නැත. ඒ වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරද නැත. ඔවුන්ගේ විසඳුම් මොනවාද කියා පැහැදිලි කිරීමක්ද කර නැත. එය එම පක්ෂවලට පමණක් නොව මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට ආවේනික පොදු ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය. 

වර්ග, කුල, ආගම් ප්‍රශ්නය ලංකාව මුහුණ දී තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස සැලකිය හැකි වුවද එම නිෂ්චිත ප්‍රශ්නය විසඳා ගත යුතු අකාරය ගැන ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් පැහැදිලි කිරීමක් කර නැත. නැතහොත් එම ප්‍රශ්නයට තමන්ගේ විසඳුම් ඉදිරිපත් කර නැත. එසේම එම ප්‍රශ්නය දිගින් දිගට පල් වන්නට ඉඩ හැර බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා මිස ඉක්මන් විසඳුමක් මගින් ඒ නිසා පීඩා විදින ජනතාව ඒ තත්ත්වයෙන් හැකි ඉක්මනින් මුදා ගැනීම සදහා විශේෂ උනන්දුවක් දක්වන බවක් ද පෙනෙන්නේ නැත.
 

Advertiesment