Saturday 20th of July 2024

English Tamil
Advertiesment


නිහඩ ආර්යාව


2023-10-09 13968


අද වෙනකොට අපේ රට විධායකය ජනාධිපතිලා අට දෙනෙක් පාලනය කරලා තියනවා. ජේආර්, ප්‍රේමදාස, ඩීබී, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රි, ගෝඨාභය සහ රනිල් තමයි ඒ අට දෙනා. එයින් දෙන්නෙක් අනුප්‍රාප්තික ජනාධිපතිවරු.ඩීබී සහ රනිල් තමයි අනුප්‍රාප්තික ජනාධිපතිවරු දෙන්නා. මේ ජනාධිපතිලා ගැන ඔයාලට අපට විවිධ විග්‍රහ තියෙන්න පුලුවන්.ඒවා සුභවාදී වගේම අසුභවාදී වෙන්න පුළුවන්. 

හැබැයි අද රටේ රාළ කතා කරන්න යන්නේ මේ හිටපු හෝ ඉන්න ජනාධිපතිවරු ගැන නෙවෙයි. එයාලා ගැන අපි හිසේ කෙස් ගානට කතා කරලා ඇති.අද රටේ රාළ කතා කරන්නේ හිටපු සහ ඉන්න ජනාධිපති ආර්යාවන් ගැන.මොකද ඒ ගැනත් විග්‍රහයක් මේ රටට තියෙන්න ඕනි.අර කතාවක් තියෙනවානේ සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම අති සාර්ථක ගැහැණියෙක් ඉන්නවා කියලා.කොහොමත් ඉතින් මොන දේශපාලන මතය දැරුවත් ජනාධිපතිකම දක්වා එන්න සාර්ථක කෙනෙකුට හැර අසාර්ථක කෙනෙකුට නම් බෑ.

සමහරවිට ජනාධිපතිකමට එනකං සාර්ථකව වෙලා ඊට පස්සේ අසාර්ථක වුනාද දන්නේ නෑ.මොකද මේ හැම ජනපතිවරයෙක් යටතේම රට නම් සාර්ථකත්වයක් ලබලා නෑ. ආර්ථික,සමාජ, දේශපාලන සහ සංස්කෘතික අතින් රට සම්පූර්ණයෙන්ම පිරිහිලා.හරි ඒක වෙනම කතාවක්,අපේ මාතෘකාව අපේ රටේ ජනාධිපතිවරුන්ගේ ආර්යාවන් ගැන.ඇත්තටම මේ විග්‍රහය කොතැනින්ද පටන් ගන්නේ කියන ප්‍රශ්නය රටේ රාළටත් තියනවා.අපි කොහොමද එයාලව සාධාරණ පදනමකින් මැන ගන්නේ. මොකද මේ සාකච්ඡාව බොහොම පරිස්සමට කරන්න ඕනි එකක්. කාන්තාවන් සම්බන්ධව රටේ රාළ බළකාය අතිශයින් සංවේදී.

ඒක නිසා රටේ රාළට හිතුවා ජනාධිපති ආර්යාවන්ගෙන් එක්කෙනෙක් අරන් එයාට සාපේක්ෂව අනිත් අය දිහා බලන්න. රටේ රාළ ඒකට තෝරාගන්නේ ජේආර්ගේ බිරිඳ වන එලීනා ජයවර්ධන.එලීනා තොරගන්නත් විශේෂ හේතුවක් තියනවා.ජේආර් සහ එලිනා සම්බන්ධව අපේ රටේ කෘතහස්ථ දේශපාලනඥයෙකු උන සරත් මුත්තෙට්ටුවේගම දීපු සහතිකයක් තියනවා.සරත් ඒ කතාව කළේ පාර්ලිමේන්තුවේදි.ඒක හැන්සාඩ් ගතවෙලත් ඇති.සරත් මුත්තෙට්ටුවේගම කියන්නේ ඒ යුගයේ හිටපු අති දක්ෂ කථිකයෙක් වගේම සරත්ගේ තර්ක බිඳ දාන්න ලේසි නෑ.

හරියට point එකට කතා කරපු මන්ත්‍රීවරයෙක් තමයි සරත් මුත්තෙට්ටුවේගම.සරත් එදා කිව්වේ ජේආර්ට මේ රටේ ජනාධිපතිකම් කරන්න කිසිම සුදුසුකම් නෑ කියලා.හැබැයි ජනාධිපති ආර්යාවකට තියෙන්න ඕනි සුදුසුකම් 200% ක් හෙලිනා ජයවර්ධන ආර්යාවට තියනවා කියලා.ඇත්තටම එලීනා කියන්නේ පක්ෂ විපක්ෂ හැමෝගේම ගෞරවය පාත්‍ර වූ කාන්තාවක්. සමහරු කිවිවේ ජේආර් දැක්කම එන කේන්ති එලීනා දැක්කම තමයි නිවෙන්නේ කියලා.විජේවීරටත් එලිනා ගැන සාධනීය විග්‍රහයක් තිබුණා.

එලීනා ජේආර් එක්ක රාජ්‍ය උත්සවවලට සම්බන්ධව වුනා.ඒත් ඒ ගැන කාගේවත් විරෝධයක් තිබුණේ නෑ.ඒ තරමට එලීනා ජනතාවට ආකර්ෂණීය චරිතයක්. ජේආර් ගිය රාජ්‍ය උත්සවවලට සහභාගීවීම ගොඩක්ම වෙලාවට එලීනාගේ කැමැත්ත නෙවෙයි උනත් ඒක ජේආර්ගේ කැමැත්ත බවයි ජේආර් පවුලට සමීප අය කියන්නේ. කොහොම උනත් ජේආර් කතාව පටන් අරන් සියලු දෙනාගෙන්ම අවසර අරගෙන " මගේ මැතිනියගෙනුත් අවසරයි " කියලා එලීනාගෙනුත් අවසර ගන්නවා.

එලීනා කියන්නේ සම්ප්‍රායික ගැහැනියක් නොවුනත් ඇයගේ තිබුණ සරළ සහ නිහතමානිකම විසින් ගොඩක් අයට එයා සම්ප්‍රදායික ගැහැණියෙක් විදිහටත් පේන්න ඇති.එලීනාට සාපේක්ෂව බලද්දී අනෙක් ජනාධිපති ආර්යාවන් කොටස් දෙකකට බෙදන්න රටේ රාළ තීරණය කළා.ඒ එලීනාට කිට්ටු සහ එලීනාට දුරස් ආර්යාවන් විදිහට.එලීනාට කිට්ටු අය විදිහට රටේ රාළ නම් කරන්නේ ඩීබ් විජේතුංග ආර්යාව,ජයන්ති සිරිසේන ආර්යාව සහ ගෝඨාභය රාජපක්ෂ ආර්යාවයි.

මෙතනදී ඩීබී විජේතුංග ජනාධිපතිවරයාට එතරම් සමාජ විරෝධයක් එල්ල වුනේ නෑ.ඒකට හේතුව උනේ ඩීබීට ඉස්සෙල්ලා රට පාලනය කරපු රණසිංහ ප්‍රේමදාසගේ කෘර පාලනයට සාපේකෂව ඩීබී යහපත් පාලනයක් ගෙන ගිය එක වෙන්න ඕනි. කොහොම හරි ඩීබිගේ බිරිඳ ඩීබී අනුප්‍රාප්තික ජනාධිපති විදිහට දිවුරුම් දීපු දවසේ දැක්කට පස්සේ එයා ගැන ආරංචියක් තිබුණෙම නෑ. ඇත්තටම ජනාධිපති මන්දිරයේ ඉන්න ආසාවක් එයාට තිබිලා නෑ.

පිලිමතලාවේ තමන්ගේම ගෙදරට වෙලා ඇය ඩීබීගේ වැඩවලට කැපවෙලා තියනවා.ඊළගට මෛත්‍රිගේ බිරිඳ සහ ගෝඨාභයගේ බිරිඳත් එහෙමයි.බොහොම චාම් ජිවිත ගතකරපු අය.මේ රටේ ජනතාවගෙන්,මෛත්‍රිට සහ ගෝඨාභයට තරම් විවේචන කිසිම ජනාධිපති කෙනෙකුට එන්න නැතිව ඇති.ඒවා එයාලගේ දේශපාලන භාවිතාව විසින් කරගත්ත වැඩ. හැබැයි ජයන්ති සිරිසේන සහ අනෝමා රාජපක්ෂ නිසා මෛත්‍රිටවත් ගෝඨාභයවත් බැනුම් ඇහුවේ නෑ.එයාලට බැනපු මිනිස්සු ඒ ආර්යාවන් ගැන හොඳ කිව්වා.

ඊළගට ගන්න ඕනි එලිනාට ඈත අය.ඒ ගොඩට රටේ රාළට දාන්නේ හේමා ප්‍රේමදාස ආර්යාව සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාව.මහින්ද සහ ප්‍රේමදාස කියන්නේ මේ රටේ හිටපු දූෂිත සහ කෘර පාලකයෝ දෙන්නෙක්.එයලගේ තිබුණ බල පෙරේතකම හින්දා මේ රටට උන විනාශයට කියලා නිම කරන්න බෑ. ඒක නිසා ජනතාවගේ දැඩි විරෝධයක් රණසිංහ ප්‍රේමදාසට සහ මහින්දට එල්ල වුනා.දෙන්නම දේශපාලනය කළේ පවුල සහ දරුවන් වෙනුවෙන්.ඒ වගේම තමයි ඒ ජනාධිපති ආර්යාවන්ගේ ක්‍රියා කලාපයන් හින්දා එයාලා කරන පිස්සුවලට වැඩි විරෝධයක් සමාජයෙන් ආවා.

ඊට වඩා දෙයක් හේමා ප්‍රේමදාස ගැනවත් ශිරන්ති රාජපක්ෂ ගැනවත් රටේ රාළ කියන්නේ නෑ. හැබැයි දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕනි.එතකොට කෝ රනිල්ගේ ආර්යාව කියලා.කෝ මෛත්‍රී වික්‍රමසිංහ කියලා.අඩුම ගානේ එයා එලීනාට කිට්ටු කැටගරියටවත් වැටෙන්න ඕනි නැද්ද කියලා. ඇත්තටම මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ කියන්නේ වෙනමම කතා කරන්නට ඕනි චරිතයක්. එයාට අදාලවත් වෙනම කැටගරියක් හැදෙන්න ඕනි.රටේ රාළ කියන්නේ මෛත්‍රී වික්‍රමසිංහ කියන්නෙත් අපේ රටේ පක්ෂ, විපක්ෂ කාගෙත් ගෞරවයට පාත්‍ර වුන කාන්තාවක්.

සරත් මුත්තෙට්ටුවේගම එලිනාට දුන්න සහතිකය මෛත්‍රි වික්‍රමසිංහටත් කිසිම හිරිකිතක් නැතිව දෙන්න පුළුවන්.ඇත්තටම මෙතනදී රටේ රාළට එයා ගැන ගුණ කතනයක් කරන්න ඕනි නෑ වගේම එහෙම එකක් කරන්න මෛත්‍රි වික්‍රමසිංහ ගැන වැඩි යමක් රටේ රාළ දන්නෙත් නෑ.හැබැයි රටේ රාළට මෛත්‍රි වික්‍රමසිංහ ගැන කරන්න යෝජනාවක් කරන්න තියනවා.ඒකත් බොහොම පරිස්සමෙන් කරන්න ඕනි යෝජනාවක්.ජනාධිපති ආර්යාවක්ගෙන් මේ රට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?

වෙන මොකුත් නෙවෙයි චාම් නිහතමානී ලාංකික කුල කාන්තාවකගේ චරිත ස්වභාවයක්. අපේ සංස්කෘතිය විසින් නිර්මාණය කරලා තියන මව් පදවියේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීම. එහෙම දෙයක් තමයි සමාජය බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතිව කොට කලිසම් ඇඳගෙන බැට්මින්ටන් ගහන වයසක ආර්යාවෝ මේ සංස්කෘතියට ගැලපුනේ නෑ,තමන්ගේ දරුවන්ට අභියෝග කරන අය මරලා දාන්න කොන්ත්‍රාත් දෙන ආර්යාවෝ අපේ සමාජය පිලිගත්තේ නෑ.හැබැයි අපේ රටේ බහූතර ජනාධිපති ආර්යාවන් අපේ රටේ ගෞරවය සහ සංස්කෘතික අනන්‍යතාවයන් රැකලා තියනවා.

ඒ ගෞරවය එලීනා ජයවර්ධන ආර්යාවට.ඩීබී විජේතුංග ආර්යාවට, ජයන්ති සිරිසේන ආර්යාවට,සහ අනෝමා රාජපක්ෂ ආර්යාවට හිමි වෙන්න ඕනි.ඒ වගේම ඒ ගෞරවය මහත් ඉහලින් මෛත්‍රි වික්‍රමසිංහ ආර්යාවත් රැකලා තියනවා.රටේ රාළ කියන්නේ ඇත්තටම ආර්යාවක්ගේ ගුණයෙන් ඔබ්බට දෙයක් රට වෙනුවෙන් කිරීමේ හැකියාවක් මෛත්‍රි වික්‍රමසිංහට තියනවා.රනිල් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුද්දක කාලයක් ඉන්නවා.මෛත්‍රි ඒ අවුරුද්දක කාලය ඇතුලේ නිහඩව රනිල් වෙනුවෙන් සේවයක් කරයි.

හැබැයි රටේ රාළ කියන්නේ ඒක රනිල්ට කරන සේවයක් නෙවෙයි මේ රටට කරන සේවයක් විදිහට දකින්න අපි නිහතමානී වෙන්න ඕනි.ඇයගේ දැනුම ඇත්තටම රනිල්ට දෙවෙනි නෑ.රටේ රාළට ඒක තහවුරු වෙන්නේ මෙහෙමයි.රනිල් ජාත්‍යන්තර වේදිකාවේ ගොඩක් දුරට සාර්ථකයි.ඒ සාර්ථකත්වය පිටි පස්සේ ගොඩක් අය ඇති.ඒත් ඒ ගැන හොයාගෙන ගියොත් ඒ සාර්ථකත්වයේ දැවැන්ත සෙවනැල්ල මෛත්‍රි වික්‍රමසිංහ. තමන්ගේ ජනාධිපති සැමියා හරහා සියලුදේ තමන්ගේ පවුලට එකතු කරගත්ත ආර්යාවන් හිටපු රටක රටේ කීර්තිය ඉහලින් ඔසවලා තියන්න තමන්ගේ දැනුම එකතු කරන ජනාධිපති ආර්යාවන් ලෝකයේ බොහොම දුර්ලභයි.

මෛත්‍රි වික්‍රමසිංහ කියන්නේ ඇත්තටම අපේ රටට සම්පතක්. රනිල් ගැන දේශපාලන පරිච්ඡේදක් රටේ රාළ බළකාය ලියනවා.ඒ වගේම මෛත්‍රි වික්‍රමසිංහ ගැන පරිච්ඡේදයත් අපේ ඉතිහාසයට අදාලයි.රනිල් ගැන රටේ රාළ ලියන පරිච්ඡේදය කියවලා අපේ එජාප යාලුවෝ සමහරවිට තරහා වෙන්නත් පුළුවන්.කමක් නෑ.මේ තමයි රටේ රාළ ලියපු මෛත්‍රි වික්‍රමසිංහ ගැන පරිච්ඡේදය. හඔයාලත් මේක කියවලා සාධාරණ විග්‍රහයක් කරයි කියා බලාපොරොත්තු වෙනවා.රටේ රාළ ගැන නං නෙවෙයි මෛත්‍රි වික්‍රමසිංහ ගැන.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

Advertiesment