Sunday 10th of December 2023

English Tamil
Advertiesment


කැට හොල්ලමින් ලොව වටා හිඟමන් යදින දේශපාලනයට තිත තබනවා 


2023-10-02 1462

 

දූෂිත පාලකයින්ගේ කෙරුවාව දූ දරුවන් දැන ගත යුතුයි 

 

සියල්ලටම වඩා දූ දරුවන් වටිනවා 

 

සජබ රජයක් යටතේ දූ දරුවන් සවි බල ගන්වන හැටි විපක්ෂ නායක කියයි  

 

 

මේ රටට අවශ්‍ය වන්නේ කැට හොල්ලා ලෝකය වටේ හිඟා ක කා යන දේශපාලන සංස්කෘතියක් සහ එවැනි දේශපාලන නායකයින් නොව දූ දරු පරපුර ශක්තිමත් කර ඒ ඔස්සේ රට ගොඩනැගීමේ ක්‍රමවේදයක් යැයි ද, ඒ වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම තමා ගන්නේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉරිදා (01) ලෝක ළමා දිනය නිමිත්තෙන් සක්වල වැඩ සටහන යටතේ 80 වැනි බස් රථය හෝමාගම සුභාරතී මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර එම අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ ආරාධනයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා ද එක්ව සිටියේය. 

පාසල්වල දේශපාලනය කතා කරන බවට තමාට චෝදනා කරන අයට දිය හැකි පිළිතුර වන්නේ සියල්ලන්ටම වඩා දරුවන් වටී කියන සංකල්පය රටේ අද ක්‍රියාත්මක වන්නේද කියා සිතන ලෙස යැයි පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා සියල්ලන්ටම වඩා දරුවන් වටිනවා නම් ඇත්ත කතා කරන්න හැකියාවක් තිබිය යුතු යැයි ද සඳහන් කළේය.

ඇත්ත කතා කිරීම සඳහා පන්සල, පල්ලිය, කෝවිල, දේවස්ථානය සහ පාසල කියා භේදයක් නොමැති අතර එවැනි බොරු තර්ක ඉදිරිපත් කරන පුද්ගලයන් ජනතාවටත් හොරා රටේ මුදල් කොල්ල කා ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

අපේ රට බේරා ගත් හමුදාව 50%ක් කප්පාදු කරන බවට වාර්තා වන අතර එසේ රැකියා අහිමි කරන්නේ නම් ඔවුන්ට විකල්ප ජීවනෝපායක් ලබා දිය යුතු යැයි කියා සිටී විපක්ෂ නායකවරයා අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දත්ත පද්ධතියක් වෙනුවෙන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් බදු ගෙවන්නන්ගේ මුදල් ආයෝජනය කර ඇති නමුත් එම පද්ධතිය ක්‍රියාත්මක නොවන්නේ යැයි ද හෙළි කළේය.

ඊට අමතරව මුලතිව්වල විනිසුරුවරයෙක් විවිධ පාර්ශ්යන්ගේ බලපෑම් නිසා ඉල්ලා අස් වූ බවත් මෙවැනි භයංකාර තත්ත්වයක් නිර්මාණය වීම ගැන දූදරුවන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

තව ද වසර 15ක් යාමට පෙර රටේ වන අලි සම්පත විනාශ වනු ඇති අතර ගෙවුණු වසර 12ට අලි 3765ක් ද, ගෙවුණු මාස අට ඇතුළත අලි 271ක් ද, ගෙවුණු සතියේ දී පමණක් අලි 11ක් ද මිය ගොස් ඇතැයි පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා බොරුවට හරිත ආර්ථිකය සහ හරිත සංවර්ධනය යන වචන කිව්වත් එම සංකල්ප ක්‍රියාත්මක වන්නේ නැතැයි ද මෙම වන අලි සම්පත මෙරට ඩොලර් උපයන පවුරක් බවට පත් කළ හැකි යැයි ද අවධාරණය කළේය.

රට බංකොලොත් වී තිබිය දී බාල බෙහෙත් සහ එන්නත් ගෙනවිත් කෝටි ගණන් මුදල් ගසා කන්නේ යැයි ද, ප්‍රතිශක්තිය සදහා ලබා දෙන ප්‍රතිදේහ එන්නත් කුප්පි 22500ක් ඇමරිකානු ඩොලර් මිලියන 3ක් වැය කර ගෙන්වා ඇතත් ඒ සියල්ල බාල බෙහෙත් බව මේ වන විට හෙළිදරව් වී ඇතැයි ද, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ගෙන ආ මේ එන්නත නිසා කෝටි ගණනක මුදල් අහිමි වී ඇතැයි ද, රටේ සංචිතවල ඇති බෙහෙත් පවා නැවත මිල දී ගන්නට සූදානම් වන්නේ යැයි ද චෝදනා කළ සජිත් ප්‍රේමදාස මහතා මේ කටුක ඇත්ත දූ දරුවන් දැන ගත යුතු යැයි ද පැවසීය.

දූ දරුවන්ට සහ මව්වරුන්ට හිමි ත්‍රිපෝෂ සලාකය අහිමි කරමින් ත්‍රිපෝෂ කර්මාන්තශාලාව විකුණා දැමීමට රජය සුදානම් වන බව මේ රටේ දූ දරුවන් දැන ගත යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ළමා අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රකාශනය 1959 දී නිකුත් වූයේ යැයි ද, 1989 දී ළමා අයිතිවාසිකම් සම්බන්ධ ලෝක ප්‍රඥප්තිය ඉදිරිපත් වූයේ යැයි ද, ඒ ඔස්සේ ළමා සුබ සාධනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් සෑම අතකින්ම සවි බල ගැන්වූ දූ දරු පරපුරක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වූ නමුත් රටක් ලෙස අප ද මෙම ප්‍රඥප්තිවලට අත්සන් කළත් කොතෙකුත් දුරකට මෙම ප්‍රඥප්තිවල අඩංගු මූලික යෝජනා යථාර්ථයක් බවට පත් කරන්න කටයුතු කළා ද යන්න ගැටලු සහගත යැයි ද ඔහු පෙන්වා දුන්නේය. 

එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පවා සීමා වී ඇත්තේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්වල නිසා අනාගත සමගි ජන බලවේග රජයක් යටතේ ඒ සියලු අයිතිවාසිකම් පුළුල් කර මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අධ්‍යාපනය, සෞඛය, හොඳ ජීවන රටාවක්, ආර්ථික සමාජීය සංස්කෘතික සහ ආගමික අයිතින්වලින් පරිපූර්ණ වූ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් කරන්නේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා සහතික විය.

මේ රටට ඇති බරපතළ අවශ්‍යතාව වන්නේ ඩොලර් සහ රුපියල් උත්පාදනය කිරීම යැයි ද, ඒ සඳහා ආර්ථික වර්ධනයක් අවශ්‍ය යැයි ද, වත්මන් රජය ආර්ථිකය කුඩා කළත් සමගි ජන බලවේගය බලයට පත් වූ විගස අපේ රටේ ජනතාවටත් විශේෂයෙන් දූ දරු පරපුරටත් ජීවත් වීමේ අයිතිය උරුම කර දෙන්නේ යැයි ද ඔහු පැවසීය.

අපේ රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීමට නම් අල්ලස, දූෂණය, වංචාව සහ හොරකම තුරන් කර විනිවිදභාවයෙන් යුක්තව වග කියන සහ වග වන පිරිසුදු රාජ්‍ය පාලනයක් ඇති කළ යුතු යැයි ද, එවිට ජනතාවට රට වෙනුවෙන් කැප කිරීම් සිදු කිරීම අනවශ්‍ය වනු ඇතැයි ද, ආණ්ඩු පත් කරන්නේ පත්වූ පාලකයන් වෙනුවෙන් ජනතාවට කැප කිරීම් සිදු කිරීමට නොව ජනතාවට හොඳ ජිවන තත්ත්වයක් හිමි කර දීමට යැයි ද, පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා රටේ නායකයා යනු රටේ ජනතාවගේ භාරකාරයා යැයි ද, ඔහුගේ හදවත ජනතාව දුක් විදින විට උණු විය යුතු යැයි ද, අනුකම්පාව-දයාව-කරුණාව- මෛත්‍රිය නොමැතිව තනතුරුවල සිටීම ඵලක් නැතැයි ද, මේ රටට අවශ්‍ය ජන දුක තේරෙන දූෂණය තුරන් කරන රාජ්‍ය පාලනයක් යැයි ද අවධාරණය කර සිටියේය. 

එසේම පාසල් දූ දරුවන් සහ සරසවි සිසුන්ට ද හරියාකාර කෑමක් නොමැති බව සමීක්ෂණයක් මඟින් අනාවරණය වී ඇතැයි ද,  පාසල් දූ දරුවන්ට හිමි මූලික අයිතිවාසිකමක් වන රජයෙන් ලබා දෙන දිවා ආහාරය පවා අහිමි කර ඇතැයි ද, සමගි ජන බලවේග රජයක් යටතේ සියලුම පාසල් සිසුන්ට එම දිවා ආහාරය යළි ලබා දෙන්නේ යැයි පැවසූ සජිත් ප්‍රේමදාස මහතා ඊට අමතරව නිල ඇදුම් සේම අධ්‍යාපනය කර ගෙන යාමට පහසු වන සුහුරු ජංගම දුරකථනයක් හෝ Tab යන්ත්‍රයක් ලබා ගත නොහැකි අයට ඒ පහසුකම් පවා ලබා දෙන්නේ යැයි ද සඳහන් කළේය.
 

Advertiesment