සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මේ වන විට යාපනයේ සංචාරකයක යෙදී සිටින අතර ඔහු මෙවර සිය ජන්ම දිනය සමරුවේ ද ද්‍රවිඩ දරු දැරියන් සමග එකට එක්ව යාපනයේ සිටය.
කරු ජයසූරිය මහතාගේ ජන්ම දිනය සැමරීමට එහි තරුණ පිරිසක් පූර්ව සූදානමක සිට ඇති බව පැහැදිලි වූයේ පෙර දැනුම් දීමකින් තොරව ඔවුන් සංවිධානය කර තිබූ අලංකාරවත් සහ අතිශය හෘදයාංගම වූ උපන්දින සාදය සැලකීමේදීය.
සිය ද්විතීයික භාෂාව ලෙස සිංහල බස ඉගෙන ගනිමන් සිටින එම පිරිස අතර තරුණ තරුණියන් 400ක් පමණ සිටී අතර කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කරු ජයසූරිය මහතා ඉදිරියට පැමිණි ඔවුහූ උපන්දින කේක් ගෙඩියක් පිළිගන්වමින් සාදය ආරම්භ කළහ.
අලංකාරවත් මල් වරුසා මැද උපන් දින සුබපැතුම් ගී ගායනා කරමින් එකිනෙකා පරයමින් ඔවුන් කරු ජයසූරිය මහතා වෙත ඇදී ආවේ විවිධ තිළිණ පිළි ගැන්වීම සඳහා වන අතර ඒ අතර කරු ජයසූරිය මහතාගේ රුව සිතුවම් කළ විවිධාකාර චිත්‍ර රැසක්ම දක්නට ලැබිණි.
විශේෂයෙන්ම තරැණියන් විශාල පිරිසක් අත රැදී තිබුණේ ඔවුන් සිය දෑතින්ම නිර්මාණය කරන ලද ත්‍යාගයන්ය. ඒ බොහෝ දෙනෙකුම ජයසූරිය මහතාට මල් මාලා පැළඳවීය. ඇතමෙක් කුඩා කේක් කැබැල්ලක් හෝ සිය අතින්ම ජයසූරිය මහතාගේ මුව අග තබන්නට කටයුතු කරනු දක්නට හැකි විය. එකී සාදයට පමණක් ගතවූ කාලය පැය එකහමාරකට වඩා අධික විය.
කරු ජයසූරිය මහතා මෙවර යාපනයට පැමිණියේ ඔහුගේ මූලිකත්වයෙන් පවත්වා ගෙන යන "සූරිය පදනම" පදනම මගින් සිදු කරමින් සිටින සමාජ සත්කාරක සේවා නිරීක්ෂණය කරන්නටය. එහිදී එකී සංවිධානය මගින් පවත්වා ගෙන යන සිංහල භාෂා පාඨමාලා සාර්ථක ලෙස හදාරන ලද සිසු සිසුවියන් 300ක ට අධික පිරිසකට සහතික පත් සහ සම්මාන පිරිනැමීමේ උත්සවයකටද ජයසූරිය මහතා සහභාගි විය.
ඊට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්.සමන් බන්ධුලසේන, යාපනය දිසාපතිතුමා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයකලා මහේෂ්වරන් සහ එස්. සරවනබවන් යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්ම සහභාගි වී සිටියහ.
Lanka Newsweek © 2023