Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


ආණ්ඩුවේ දූෂිත ප්‍රතිපත්තිය ගැන IMF පවා කණස්සල්ලෙන් 


2023-09-29 1240

 

 ඉලක්ක නිසි ලෙස සම්පූර්ණ නොකිරීම නිසා දෙවැනි වාරිකය අවිනිශ්චිතයි

 

අස්වැසුම නමින් විද්‍යාත්මක නොවන අකාර්යක්ෂම වැඩසටහන් ක්‍රියාත්මක කර දිළිඳු ජනතාව අසරණ කර ඇති බවත්, වකුගඩු සහ පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට සේම ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාවට ලබා දෙන සහන පවා පිරිනැමීමට නොහැකි තත්ත්වයකට රට ඇද දමමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, "සක්වල" වැඩ සටහන යටතේ 79 වැනි බස් රථය බ්‍රහස්පතින්දා (28) අක්කරේපත්තුව ශ්‍රී රාමක්‍රිෂ්ණන් විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ, ආණ්ඩුවේ දූෂිත ක්‍රියාමාර්ග සහ ප්‍රායෝගික නොවන ප්‍රතිපත්තිය පිළිබඳව IMF සංවිධානය පවා කණස්සල්ලට පත්ව ඇති බවය.

රාජ්‍ය ආදායම් ඉලක්ක වෙත ළඟා වීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති පසුබිමක IMF විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය මුදා හැරීම අත්හිටුවා ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය. 

"බදු ගැසීමෙන්ම පමණක් රාජ්‍ය ආදායම වැඩි කරන්න බැහැ. ඒ සඳහා රට තුළ ආදායම් උත්පාදනය කළ යුතුයි. එහෙත් වර්ථමාන ආණ්ඩුව සිදු කරන්නේ ආර්ථිකය හකුළුවමින්, ජනතාවගේ සුළු, සුළු ප්‍රශ්නවලට තාවකාලික විසඳුම් සෙවීමයි. 

අද වන විට රෝහල්වල බෙහෙත් නෑ, වෛද්‍යවරු නෑ, දරුවන්ට ඉගෙන ගන්න පොත්පත් නෑ, ගුරුවරු නෑ, ජනතාවට තුන්වේලා කන්න නෑ, කුඩා දරුවන් සහ ගැබිණි මව්වරුන් බහුතරයක් අද මන්දපෝෂණ මට්ටමට පත් වෙලා. ජනතාවගෙන් 65%ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා. 

මේ වගේ රටේ බරපතල ප්‍රශ්න තිබුණත් මැති, ඇමතිවරුන්ගේ රට සවාරිවල අඩුවකුත් නෑ. ඒ වගේම තවමත් ගජ මිතුරන් සතුටු කිරීම තමයි මේ ආණ්ඩුව කරන්නේ. මත්පැන් සමාගම් දෙකකට රුපියල් බිලියන 1.7ක බදු සහන දීමෙන්ම ඒ බව තහවුරු වෙනවා. මේ ක්‍රමය වෙනස් කළ යුතුමයි. ඒ නිසයි අපි මැතිවරණයක් ඉල්ලන්නේ."

Advertiesment