ජාතික ජන සභා ලේකම් කාර්‍යාලය මගින් සකස් කෙරුණු "ජන සභා ක්‍රමය" ට අදාළ පනත් කෙටුම්පතට සහ "ජන සභා ක්‍රමයට" සිය පූර්ණ සහය, අනුග්‍රහය සහ දායකත්වය ලබා දෙන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා මේ බව අවධාරණය කර සිටියේ, ජාතික ජන සභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පාලිත ලිහිණිය කුමාර මහතා ඇතුළු පිරිසක් හමු වී මෙම ක්‍රමය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අවස්ථාවේදී ය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ප්‍රධාන සිවිල් සමාජයේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වී, අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ජාතික ජන සභා ලේකම් කාර්‍යාලය විසින් සකස් කර ඇති ජන සභා ක්‍රමය ඉතාම කාලෝචිත බව ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය, ජනතාවාදී ආකාරයෙන් සිදු කිරීමට සහ රාජ්‍ය පාලනය සදහා ජනතාව සහභාගී කර ගැනීමේ සහභාගීත්ව ආකෘතියක් ලෙස කටයුතු කිරීමට මෙම වැඩ පිළිවෙළ අතිශයින් වැදගත් වන ආකාරය ගැන ද මෙහිදී දෙපාර්ශවයේ අවධානයට ලක් විය.
ජන සභා ක්‍රමය පිළිබඳව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩි දුරටත් අවධාරණය කළ අතර මෙම සාකච්ඡාව සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පාලිත ලිහිණියකුමාර සහ ජාතික ජන සභා කාර්යාලයේ අධ්‍යක්ෂ නීතිඥ අකලංක හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
Lanka Newsweek © 2023