Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


පාස්කු විවාදයට හරීන් පාර්ලිමේන්තුවේ නොසිටිය හේතුව හෙළි වෙයි


2023-09-23 14328

 

පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම අනාවරණය සිදු කිරීම් කළ හරින් ප්‍රනාන්දු මහතා සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයට සහභාගි නොවූයේ මන්දැයි කියා බොහෝ දෙනා විමසිල්ලෙන් සිටි අතර ඒ මහතා අදාළ විවාදයට සහභාගි වී නොතිබුණේ දණහිසේ ආබාධ තත්ත්වය නිසා මතුවී තිබූ සංකුලතාවය හේතු කොට ගෙන විදෙස් ගතව ප්‍රතිකාර ලබා ගැනීම නිසාය. 

මේ අසනීප තත්ත්වය හේතු කොට ගෙන අමාත්‍යවරයා මාසයක පමණ කාලයක් ගත කළේ රෝහල්ගතව ය. කෙසේ වෙතත් අසනීප තත්ත්වය බරපතළ නිසා වෛද්‍යවරුන් නිර්දේශ කළේ විදෙස්ගතව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසය. ඒ අනුව අමාත්‍යවරයා පසුගියදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත විය.

මීට පෙර අමාත්‍යංශය විසින් සංවිධානය කළ යාල "හිල්ටන්" හෝටලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමට ප්‍රථම හෙතෙම සැත්කම් දෙකකට භාජනය වූ අතර ඔහු අදාළ උත්සවයට පැමිණියේ ද සම්පූර්ණයෙන් සුව වීමට පෙරය. එහිදී නැවත ආබාධ තත්ත්වය සහ තුවාලය ඉස්මතු වූ අතර ඒ බව නොතකා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා රූපවාහිනි නාලිකාවක පැවති ප්‍රසිද්ධ වැඩසටහනකට ද සහභාගී විය.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය සඳහා පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී නොවීම පිළිබඳව "WhatsApp" තාක්ෂණය හරහා ඒ මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙවැන්නකි.

"පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේ වැඩියම කතා කළේ මම. සමහරු කියනවා හරින් නිහඬ වෙලා කියලා දැන්. මේ ප්‍රහාරයේ චූදිතයෝ සහ මහා මොළකරුවන් අල්ලන්න කියලා මම ඊයේ කළ සටනම අදත් කරනවා. හෙටත් කරනවා. එදා ගෝඨාභය රාජපක්ෂ බලයේ ඉන්න කොට ශානි අබේසේකරගෙ නම කියන්න බය වෙච්චි සමහරු,සලේගෙ නම කියන්න බය වෙච්ච සමහරු අද ගෝඨාභය නැති නිසා ලොකුවට කෑ ගහනවා. එදා ගෝඨාභය සිංහයෙක් වගේ ඉන්න කොටත් අපි මේ අපරාධයට විරුද්ධව කෑ ගැහුවා. අදත් එහෙමයි. හෙටත් එහෙමයි."

මේ අතර ලබන සදුදා ඒ මහතාගේ පාදයට තවත් ශල්‍යකර්මයක් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව ඔහු මීට දින කීපයකට පෙර සිය පෞද්ගලික වියදමින් විදෙස් ගත වූයේ ප්‍රතිකාර ලබා ගැනීමටය

Advertiesment