Thursday 19th of September 2024

English Tamil
Advertiesment


පාස්කු ප්‍රහාරයේ රහස් රැසක් විපක්ෂනායක හෙළිදරව් කරයි 


2023-09-22 14310

 

ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි 

 

සී.අයි.ඩී නිලධාරීන් තිස් එකක් මාරු කළේ..?

 

නිලධාරීන් හත් සියයකට විදේශ ගමන් තහනම් කළේ ඇයි..?

 

සහරාන් එක්ක ඇසුරු කළ බුද්ධි නිලධාරියාගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි..?

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිස් එක් දෙනකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත හදිසියේ ස්ථාන මාරු කර යැවීම  සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හත්සිය දෙනකුට විදේශ ගත වීම තහනම් කිරීම බරපතළ සැකයට තුඩු දෙන කරුණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සිකුරාදා (22) අවධාරණය කළේය.

ඒ නිසා ඒ ගැන වහාම විමර්ශනයක් පවත් වන්නැයි රජයට බල කර සිටී සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන දේශීය යාන්ත්‍රණය අතිශය දූෂිත වන නිසා මේ සම්බන්ධයෙන් වහාම ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බව ද අවධාරණය කර සිටියේය. 

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියාවූ මොහොමඩ් සහරාන් නමැත්තා වැඩියෙන්ම ඇසුරු කර ඇත්තේ බුද්ධි අංශ නිලධාරියකු යැයි ද, ජාතික ආරක්ෂාවට ගැටලුවක් වනු ඇතැයි කියමින් එම නිලධාරියාගෙන් ප්‍රශ්න නොකරන ලෙස ඉහළ බලධාරීන් දන්වා ඇතැයි ද, හෙළි කර සිටී සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් ද වහාම විමර්ශනයක් කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් මේ තොරතුරු හෙළිදරව් කර සිටී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය. 

"මේ සිද්ධියේ සත්‍ය හෙළි කර ගැනීම අපගේ අරමුණයි. චැනල් ෆෝ කියන්න අවශ්‍ය නැහැ. අපි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන අවධානයෙන් සිටියා. සමහරු නම් නිදා ගෙන ඇති. නයින් ලෙවන් ප්‍රහාරය ගැන වාර්තා ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය ගැන වාර්තාව මේ රටේ විපක්ෂ නායකට ගන්න බෑ. සත්‍යය යථාර්ථය හංගන්නේ ඇයි..? කොමිෂන් සභා වාර්තා නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා. මේ උත්සාහය මඩ ගහන්න නොවේ. සත්‍ය සොයන්නයි.

සත්‍ය තවම හෙළිදරව් වී නැහැ. බුද්ධි අංශ නිලධාරියෙක් තමයි මොහොමඩ් සහරාන් එක්ක වැඩිපුරම ගනුදෙනු කරලා තියෙන්නේ. ජාතික ආරක්ෂාවට බලපාන නිසා මෙම නිලධාරියාගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා සමහරුන් කියලා තිබුණා. මේ කාරණය ගැන විමර්ශන කළ යුතුයි. 

එස්.අයි.එස් නිලධාරියකු මේ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාර ගන්නෙ නැත්තෙ ඇයි කියල  අහල තියෙනවා. ඔහුට මෙහෙම අහන්න තියෙන අයිතිය කුමක්ද..? සොනික් සොනික් ප්‍රශ්නයත් වහාම විමර්ශනය කළ යුතුයි. ඇත්ත හෙළිදරව් වෙන්න ඕන. ජමීල් ටාජ් සමුද්‍ර  බෝම්බය පුපුරවා ගන්න කලින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඔහුගේ ගෙදරට ගියේ ඇයි..? මේ ගැනත් විමර්ශන කළ යුතුයි. මේ ප්‍රහාරය ඉක්මන් කරන්න කියලා සහරාන්ට ඉහළින් පණිවිඩ ආවා. කවුද අබුහින් කියන්නේ.  සහරාන්ට ඉහළින් අනිවාර්යයෙන්ම මහ මොළ කාරයෙක් හිටියා. ඒ අබුහින්. ඔහු කවුද කියලා හොයන්න විමර්ශනයක් අවශ්‍යයි.

සාරා ජස්මින් පිළිබඳවත්  වහාම විමර්ශනයක් පවත්වන්න ඕන. ගෝඨාභය 18 ජනාධිපති වෙනවා. නොවැම්බර් 22 අගමැති පත් කරනවා. ඒ ඔක්කොටම කලින් ශානි අබේසේකර මාරු කරල යවනවා. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ  පවත්වපු 31 දෙනකු ගෝඨාභයගේ නියෝග මත මාරු කර යැව්වා. රහස් පොලිසියේ නිලධාරීන් හත්සියයකට පිටරට යෑම තහනම් කළා. මේක බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්. මේ ගැනත් සොයා බලන්න ඕන. අප්‍රේල් 4  ගැලනිගම පිවිසුමට ලොරියක් එනවා. පිටිපස්සෙන් වී එයිට් එකක් එනවා. පස්සෙං තවත් වාහනයක් එනවා. බස්නාහිර ඩීඅයිජී  කෙනෙක් කියනවා මේ ලොරිය නිදහස් කරන්න කියලා. මේ ගැනත් විමර්ශන කළ යුතුයි. නීතිපතිතුමා මේ ගැන කතා කරන කොට බුද්ධි අංශයත් එනවලු. ඒ ගැනත් සොයන්න.

තිත්ත වුණත් ඇත්ත දැන ගන්න ඕන. මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් ඒ ප්‍රහාරය දැන ගෙන හිටියා කියලා මෙතන මන්ත්‍රීවරයෙක් කිව්වා. කාදිනල් හිමියන්ට  ආරක්ෂාව දුන්නේ කවදාද..? රදගුරු හිමියන්ට මඩ ගහන්න එපා. ශානි අබේසේකර අවංක පොලිස් නිධාරියා දඩයම් කරන්නේ ඇයි..? ඒ දඩයම පටන් ගත්තෙ ගෝඨාභය. පාස්කු ඉරුදින ප්‍රහාරයට කවුරුත් වග කියන්න ඕන. අපිත් වගකියන්න ඕන. සත්‍ය සෙවීමට අදූෂිත යාන්ත්‍රණයක් අවශ්‍යයි. දේශීය යාන්ත්‍රණය දුෂිතයි. ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ මේ නිසයි. එහෙම නොකළොත් අපේ  රජයක් යටතේ ඇත්ත සොයනවා. අපි ඒ යුතුකම කරනවා. ඒ වෙනුවෙන් ප්‍රතිඥාව දෙනවා."

Advertiesment