Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


අපරාධ මර්දනය කරනවා සේම වෘත්තියෙහි කීර්තිනාමය රැක ගැනීමත් පොලීසියේ වගකීමක්  


2023-09-19 1490

  

අපරාධ මර්දනය කිරීමට සේම සිය වෘත්තියෙහි කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට පොලීසිය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

මහජන ආරක්ෂාව පිළිබඳව සැළකීමේ දී මතු වී ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳව රජය වහා මැදිහත් වෙමින් ජන ජීවිතයේ ආරක්ෂාව හා පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීමට නොපමාව ම කටයුතු කල යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරනු කැමැත්තෙමු.

මේ වන විට දිනපතා ම පාහේ අසන්නට ලැබෙන සාහසික මනුෂ්‍ය ඝාතන සමාජය තැති ගන්වන සුළුය. දෙනෝදාහක් ඉදිරියේ සිදු වන එවැනි අපරාධ පිළිබඳව සැළකීමේ දී  එවැනි අපරාධ මර්දනය කිරීම සඳහා මේ දක්වා යොදා ඇති ප්‍රතිකර්ම පිළිබඳ කිසිසේත් ම සෑහීමකට පත් විය නොහැකි බව පොදුවේ පිළිගත යුතුව ඇති කරුණකි. 

එමෙන් ම අපරාධ මර්දනය සඳහා ප්‍රමුඛ වගකිමක් පැවරී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් නමගිය අපරාධකරුවන්ගේ සහායකයන් බවට පත්ව ඇතැයි පළ වන තොරතුරු අනුව පෙනී යන්නේ අපරාධ මර්දනයට යොදා ඇති ක්‍රමවේදයන් මෙන් ම පොලිස් දෙපාර්තමේන්තුවෙහිද විධිමත් ප්‍රතිසංවිධානයකට යොමු විය යුතු ව ඇතැයි යන්නය. එකී වගකීම කෙරෙහි අපි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙන් ම පොලිස් කොමිසමේහි හා පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.

රට තුළ සිදුවන අපරාධ සාර්ථක ලෙස මර්දනය කිරීමට නම් එහි පළමු පියවර තැබිය යුත්තේ පොලීසිය විසිනි. ඒ අනුව රටේ සිදුවන අපරාධ මර්දනය කිරීම සඳහා මෙන් ම දූෂිත පොලිස් නිළධාරීන්ට එරෙහිව විධිමත් ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අදාල වගකිව යුත්තන්ගේ අවදානය යොමු වෙමින් නොපමාව පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.
 

Advertiesment