මාර්ග ගත ක්‍රම ඔස්සේ සිදු වන සහායක සේවා සහ සමාජ මාධ්‍ය සේම අනෙකුත් ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදු වන සහායක සේවා විකාශන අධිකාරී පනත හරහා හදිසියේම රජය විසින් නියාමනය කළ හොත් සමාජ මාධ්‍ය වෙළෙඳ පොළ ශ්‍රී ලංකාව හැර යනු ඇති බවත් එසේ වුව හොත් ඒ මත යැපෙන ව්‍යාපාර ගණනාවක් බිඳ වැටෙනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරයා විසින් තමන් තෝරා ගත් පිරිසක් හරහා සමාජ මාධ්‍ය පාලනය කිරීම උතුරු කොරියාවකට රට ගෙන යාමකට උත්සාහ කිරීමක් බවත් එම නිසා ෆේස්බුක් සහ ඩිජිටල් මාධ්‍ය නියාමනය කිරීමට ගන්නා උත්සාහය වහා හකුලා ගත යුතු බවත් මෙම නියාමනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අඟහරුවාදා (19) විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරමිනි.
භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකමක් වුවත් වත්මන් රජය එම නිදහස විවිධ ක්‍රමවේද ඔස්සේ සීමා කිරීමට කටයුතු කරන බවත් එහි එක් පියවරයක් ලෙස ආණ්ඩුව විසින් ජනතාව සමාජ මාධ්‍යවල පළ කරන අදහස් සීමා කර ආණ්ඩුවට අවාසිදායක තොරතුරු අපරාධමය කටයුත්තක් ලෙස සලකා දඩුවම් දීමට පනතක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුගිය කාලයේ රජය සිදු කළ වැරදි ක්‍රියාවන් නිවැරදි කරලීම සඳහාත් රට බංකොලොත් කිරීමට නායකත්වය දුන් විධායක ජනාධිපතිවරයා බලයෙන් එලවා දැමීමට කටයුතු කළේත් මෙරට ප්රගතිශීලී ජනතාව බවත් එම මහජන අරගලයෙන් පසු තවමත් මහජන ආශිර්වාදය සහිත රජයක් පත් කර නොමැති බවත් පළාත් පාලන මැතිවරනය ද මහජන මතයට ඇති බිය නිසා රජය කල් දමා ඇති මොහොතක ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට ඇති සියලු මාර්ගයන් වසා දැමීමට රජය සූදානමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
ජාතික වැදගත්කමින් යුත් ගැටලුවක් වන මේ ප්රශ්නය විපක්ෂය විසින් සඳුදා (18) දිනයේ ස්ථාවර නියෝගවලට අනුව යොමු කිරීමත් සමඟ රජය විසින් එදින රාත්‍රියේ මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ නව කෙටුම්පත ගැසට් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් ද කියා ගැටලුවක් ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය. විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
Lanka Newsweek © 2024