පාස්කු ප්‍රහාරයට අදාළව චැනල් 4 නාලිකාව සිදු කළ හෙළිදරව්ව ගැන ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමට ලක් වන පරීක්ෂණයක් සිදු කිරීමට රජය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
පාස්කු ඉරිදා ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාරය පසුබිම් කර ගනිමින් බී.බී.සී ලෝක සේවයේ චැනල් 4 නාලිකාව මගින් පසුගිය දා විකාශය කරන ලද වැඩසටහන මගින් හෙළිදරව් කර ඇති කරුණු පිළිබඳව සත්‍ය දැනගැනීමේ පූර්ණ අයිතියක් මේ රටේ ජනතාවට තිබේ.
එබැවින් ඒ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට පිළිගත හැකි මට්ටමේ විධිමත් පරීක්ෂණයක් නොපමාව සිදු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටින්නෙමු. එමෙන් ම එකී පරීක්ෂණයට ජාතික හා ජත්‍යාන්තර මට්ටමේ විශේෂඥ සහය ලබාගන්නා ලෙස ද අපි අවධාරණය කරන්නෙමු.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ විකාශනය වූ වැඩසටහන මඟින් හෙළිදරව් කර ඇති කරුණු විධිමත් පරීක්ෂණයකින් අනතුරුව මිස කිසිසේත් ම බැහැර කල හැකි කරුණූ නොවේ. එබැවින් ඒ මඟින් මතු කර ඇති කරුණු පිළිබඳව නිවැරදි ගවේෂණයක් සිදු කර වගකිව යුත්තන්ට එරෙහිව නිසි පියවර ගැනීමට කටයුතු කල යුතුම වේ.
එසේ නොවුණහොත් එය ශ්‍රී ලංකාවේ අනාගතයට බෙහෙවින් අහිතකර ලෙස බලපෑමක් සිදු කල හැකි බව අපගේ නිගමනයයි. දේශීය වශයෙන් සැළකීමේ දී එය මේ රටේ ආගමික හා ජාතික සංහිඳියාවට බෙහෙවින් හානිකර ප්‍රතිඵල අත් කර දිය හැකි අතර ජාත්‍යන්තර වශයෙන් සැළකීමේ දී එවැනි තත්ත්වයක් රටේ ප්‍රතිරූපය කෙරෙහි බෙහෙවින් හානිකර ද විය හැකිය.
පාස්කු ප්‍රහාරයට අදාලව අවධානයට ලක් වූ ඇතැම් කරුණු පිළිබඳව මෙයට පෙර අවස්ථාවකදී ද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් මඟින් මෙන් ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් ද විමර්ශනයන් සිදු කර තිබේ. චැනල් 4 හෙළිදරව්වෙන් පසුව ද රජය ප්‍රකාශ කර ඇත්තේ ඒ ගැන සොයා බැලීමට විශේෂ පරීක්ෂණ දෙකකට යොමු වන බවය. එහිදී අප අවධාරණය කරන්නේ එසේ සිදු කරන කුමන හෝ ආකාරයේ විමර්ශනයන් තුළ අපරාධ විමර්ශනය පිළිබඳ විශේෂඥ දැනුවත්භාවයක් හා ඒ පිළිබඳ පළපුරුදුකම් ඇති විශේෂ කණ්ඩායමක සහභාගිත්වයක් තිබිය යුතුම වන බවය. එමෙන් ම එකි විමර්ශනයන් හි ප්‍රගතිය මත ඊට වගකිව යුතු ව ඇති ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු හෝ වෙත් නම් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට යොමු විය හැකි තත්ත්වයක් ද එකි විමර්ශන කණ්ඩායමට තිබිය යුතු බවයි.
ඊට අමතරව මෙහිදි විශේෂ අවධානය යොමු විය යුතු තවත් කරුණූ කිහිපයක් ම ඇති බව අවධාරණය කිරිමට අපි කැමැත්තෙමු. එනම් පාස්කු ප්‍රහාරය සිදුවීමට පූර්වයෙන් මේ රටේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දැඩි සමාජ මතයක් ගොඩනැගීම සඳහා ඇතැම් කණ්ඩායම් ගෙනගිය ප්‍රචාරයන් පිළිබඳව ද එහිදී සළකා බැලිය යුතුව තිබේ. වඳ බෙහෙත්, වඳ කොත්තු හා වඳ ශල්‍යකර්ම යනාදි වශයෙන් විවිධ පැතිමානයන් ඔස්සේ වෛරය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ අය පිළිබඳව මෙන් ම පාස්කු ප්‍රහාරයත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් තුළ විවිධ සාහසික ක්‍රියාවන්ට සෘජුවම සම්බන්ධ වී ඇති බවට සාක්ෂි ඉදිරිපත්ව ඇති සමහර දේශපාලඥයන් කෙරෙහි ද එහිද අවධානයක් යොමු කල යුතුව ඇත.
Lanka Newsweek © 2023