Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට කොන්දේසි විරහිතව සහාය දෙනවා 


2023-08-24 14334

 

මත් රකුසාට එරෙහිව යුද වැදිය යුතු කාලය එළඹිලා 

 

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමට අදාළව ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහාය ලබා දෙන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

මත්ද්‍රව්‍ය උවදුර වළක්වාලීම ජාතික ආරක්ෂාවට සෘජුව සම්බන්ධ බවත් ජාතික ආරක්ෂක කවුන්සිලයක් රැස් වෙනවා නම්  මත්ද්‍රව්‍ය උවදුර වළක්වාලීම ඉහළින්ම තිබිය යුතු ප්‍රමුඛතාවක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

911 ප්‍රහාරයෙන් පසු 911 කොමිසම විසින් හෝම්ලෑන්ඩ් ඩිපාර්ට්මන්ට් නමින් නව ඒකකයක් ස්ථාපිත වූ බවත් 30 වසරක ත්‍රස්තවාදය අවසන් කළ රටක් ලෙස මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම නැමැති ත්‍රස්තවාදයට ගොදුරු වි ඇති බවත් එම මත්ද්‍රවය උවදුර හේතුවෙන් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය පවා ආක්‍රමණය වී ඇති බවත් එබැවින් මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම ජාතික න්‍යාය පත්‍රයේ ඉහළට ගොස් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සෑම අවස්ථාවකම සාකච්ඡා විය යුතු බවත් මේ සම්බන්ධයෙන් සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම් විපක්ෂයක් ලෙස කොන්දේසි විරහිතව සහාය ඵල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බදාදා (23) මත්ද්‍රව්‍ය උවදුර දිවයිනෙන් කඩිනමින් තුරන් කිරීමේ අරමුණින් ඊට අදාළ ක්‍රියාවලිය සඳහා වන නිගමන සහ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වූ තේරීම් කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ නිවැරදි දත්ත තිබෙනවාද කියා ගැටලුවක් ඇති බවත් එසේම සංචාරක කර්මාන්තය දියුණු කිරීමට යැයි කියමින් බියර් පර්මිට් ලබා දුන්නත් දුම්වැටි මත්පැන් සහ මධ්‍යසාර බලපත්‍ර ලබා දීම පවා අවම විය යුතු බවත් යම් හෙයකින් එවැනි බලපත්‍ර ලබා දෙන්නේ නම් ඒ තුළින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වන සංස්කෘතියක් බිහි වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තව ද බන්ධනාගාරවල තාප්පවලින් මත්ද්‍රව්‍ය පවා විසි කරන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් තිස් වසරක ත්‍රස්තවාදය විනාශ කළ රටේ මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට අපොහොසත් වී තිබිම පුදුමයට කරුණක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සඳහා තද නීති රාමුවක් අවශ්‍ය බව ය. 

එසේම නිර්දේශපාලනයෙන් යුත් ශක්තිමත් මත්ද්‍රව්‍ය නාශක බලකායක් රටට අවශ්‍ය බවත් එම බලකාය කුමන රජයක් යටතේ වුවත් එකම අරමුණින් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය. 

එම මත්ද්‍රව්‍ය නාශක බලකාය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කළ නොහැකි තදබල නීතියක් බවට පත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සඳහන් කළේය.

එසේ ම මේ කාර්යයේ නිරත පුද්ගලයන්ට හොඳ වේතනයක් ලැබිය යුතු බවත් එවැනි නිලධාරීන්ව අගය කළ යුතු බවත් ලෝකයේ මෙවැනි දේවල් සම්බන්ධයෙන් හොඳ ආකෘති පවතින බැවින් ඒවා අධ්‍යයනය කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවය.

යුධ ජයග්‍රහණයට යම් සාර්ථක ක්‍රමවේදයක් යොදා ගත්තා සේ මේ සඳහා ද ජනාධිපති කාර්ය සාධක බලකායක් වැනි සාර්ථක ක්‍රමවේදයක් යොදා ගෙන මීට සම්බන්ධ සියලු ආයතන ඒකාබද්ධ කොට සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් මත් රකුසා විනාශ කිරීම ද යුද්ධයක් බැවින් එම මත් රකුසාට පාසල් පද්ධතිය තව දුරටත් ආක්‍රමණය කිරිමට ඉඩ නොදී විනාශ කළ යුතු බවත් ඒ සඳහා ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් වුවද ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තව දුරටත් මෙහි දී පැවසීය.

Advertiesment