වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව උග්‍ර පානීය ජල ප්‍රශ්නයකට මුහුණදී සිටින හෙයින් ඒ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (22) ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 (02) යටතේ ප්‍රශ්නයක් මතු කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.
"නියඟය හේතුවෙන් වගාවන්ට සහ සත්ත්ව පාලනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකිවී තිබෙනවා. විදුලි ජනනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. වන සතුන්ටද පානීය ජලය ලබා ගැනීමට නොහැකිවීමෙන් විවිධ ගැටලු මතු වී තිබෙනවා. තෘණ භූමි විනාශ වී යෑමෙන් සතුන්ට ආහාර හිඟයක් ඇති වී තිබෙනවා. ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් ලෙස මම මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා.
දැනට පානීය ජල හිඟයක් පවතින ප්‍රදේශ කවරේද..? ජල හිඟය වැලැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද..? ඉදිරියේදී ජල හිඟය වැලැක්වීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද..?
ගිං කළු නිල්වලා ව්‍යාපෘතියට සිද්ධ වූයේ කුමක්ද..? වගා විනාශ වූ උඩවලවේ ගොවීන්ට රජය ලබා දෙන සහන මොනවාද..? මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුදල් ප්‍රශ්න තිබෙනවා නම් සීනි බදු වංචාවට සම්මාදම් වූ අය නීතිය හමුවට ගෙනවිත් ඒ රුපියල් බිලියන 15ක මුදල සොයා ගන්න පුළුවන්. ඊට පස්සේ වගා වන්දි දෙන්න ඒ මුදල යොදා ගන්න පුළුවන්. වී මිල ගැන අද ඇමතිතුමාට සතුටු වෙන්න පුළුවන්ද..?"
Lanka Newsweek © 2024