Sunday 10th of December 2023

English Tamil
Advertiesment


දූෂණ විරෝධි නව පනත වැදගත් ජයග්‍රහණයක් 


2023-07-20 7953

 


පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගනු ලැබූ දූෂණ විරෝධි නව පනත අතිශය වැදගත් ජයග්‍රහණයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

දූෂණ විරෝධි පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාදීම මඟින්  මෑත යුගයේදී ඉතාමත්ම වැදගත් වූ කාර්යභාරයකට සහය ලබා දුන්  සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාධාරණ සමාජයක් සඳහා වනජාතික ව්‍යාපාරය සිය කෘතඥතාවය පළ කරනු කැමැත්තෙමු.

එමෙන් ම මෙම පනත සම්මත කර ගැනීම පිණිස උපදෙස් ලබා දුන් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත්, ඒ සඳහා ඉමහත් වෙහෙසක් දරමින් කටයුතු කළ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙතද අපගේ ස්තූතිය හා ගෞරවය පළ කරන්නෙමු.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබදව පාර්ලිමේන්තුව තුළ මෙන්ම එයින් පරිබාහිරවද සිදු කරන ලද සංවාද හා විවාදයන්හිදී ඇතැම් පාර්ශව පෙන්වා දී ඇති ආකාරයට එය සර්ව සම්පූර්ණ එකක් නොවිය හැකි නමුත් ශ්‍රී ලංකාවේ අනාගත යහපත උදෙසා අත්‍යවශයෙන්ම තහවුරු කර ගත යුතු දූෂණය තුරන් කිරීමේ දැඩි අවශ්‍යතාවය සැළකීමේදී ගෙන ඇති මෙම පියවර අගය කළ යුතුව තිබේ.

එමෙන් ම සමස්ත රටම අපේක්ෂා කර සිටින ආකාරයට මෙම පනතෙහි අරමුණ සාර්ථක කර ගැනීම උදෙසා එය සම්මත කර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. එකී අරමුණ සම්පූර්ණ කර ගැනීමේදී රජයට බරපතල මැදිහත්වීමක් සිදු කළ යුතුව ඇති අතර එය සම්පූර්ණ කිරීම රජයේ වගකීමද වනු ඇත. 

ඒ අනුව ප්‍රථමයෙන්ම දූෂණ විරෝධි කොමිසම ස්ථාපිත කිරීමේදී එය කාර්යක්ෂම අදීන හා නිවහල් ආයතනයක් බවට තහවුරු කළ යුතුව තිබේ.ඒ සඳහා පත් කර ගන්නා කොමසාරිස්වරුන් පටු දේශපාලන ළැඳියාවන්ගෙන් තොර පුද්ගලයන්ගෙන් විය යුතුම වන අතර සමාජයේ පිළිගැනීමට හා ගෞරවයට හේතු වන ආකාරයේ පුද්ගලයන්ගෙන් ද සමන්විත විය යුතුව තිබේ. එමෙන්ම එම පත්වීම් කල් නොයවා වහාම සිදු කළ යුතුව ඇති බවද අපගේ විශ්වාසයයි.

එයට අමතරව මෙම කොමිසම යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පූර්ණ වශයෙන් ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට පොලීසීයේ හැසීරීම ඉතාමත්ම වැදගත් වන අතර ශ්‍රී ලංකා රේගුව හා අනෙකුත් ආයතන තුළින් ද එකී අපක්ෂපාතීභාවය පිළිබිඹු විය යුතුය.

එමෙන්ම නව අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව ඔවුන්ගේ විමර්ශනයන්ගෙන් අනතුරුව සිදු කරන සියලුම නඩු කටයුතු ඉතාමත්ම කඩිනමින් අවසන් කිරීමට සියලු පියවර ගත යුතුව ඇති අතර ඒ හරහා අල්ලසට හා දූෂණයට එරෙහිව සැබෑ කැපවීමක් රටට මෙන්ම සමස්ත ලෝකයටද ප්‍රදර්ශනය කළ යුතුව තිබේ. විශේෂයෙන් ම එක් එක් ආණ්ඩුවල වෙනස්වීම් අනුව විමර්ශනය කරමින් සිටින චෝදනාවන්ට අදාළව කොමිසමේ ස්ථාවරයන් හා ක්‍රියාමාර්ග වෙනස් නොවිය යුතුව ඇතැයිද එහිදි අපි අවධාරණය කරනු කැමැත්තෙමු.

මෙම පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීම පිළිබඳව සිවිල් සමාජ සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය සතුට පළ කරනු ලබන්නේ අල්ලස හා  දූෂණයට එරෙහිව බලවත් මැදිහත්වීමක අවශ්‍යතාවය පිළිබඳව අප සංවිධානයේ ආරම්භක යුගයේ සිටම  අඛණ්ඩව පෙනී සිට ඇති බැවිනි.

මීට මාස කිහිපයකට පෙර යෙදුණ දූෂණ විරෝධී අන්තර්ජාතික දිනයේදී අපි මෙවැනි පනතක අවශ්‍යතාවය පිළිබඳව සිවිල් සමාජ සංවිධාන සමඟ එකට එක්ව පෙනී සිටීමක් සිදු කළ අතර එයට අධිකරණ අමාත්‍යවරයාටද ආරාධනා කරමින් සංවිධානයක් ලෙස වන අපගේම වූ යෝජනාවලියක් ද ඉදිරිපත් කරනු ලැබුවෙමු. අප ඒ මඟින් අපේක්ෂා කරන ලද්දේ අප රටට අත්ව ඇති වර්තමාන ඛේදනීය කල දසාව අපගේ අනාගත පරම්පරාවට හෝ උරුම කර නොදීමට අද අප සතුව ඇති වගකීම නොපිරිහෙලා ඉටු කිරීමටය.

ඒ අනුව (2023.07 19 දින) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් පනත ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන ආකාරයේ යම් අඬු ලුහුඬුකම් තිබිය හැකි වුවත් ඉදිරියේදී ඒවා යථාවත් කර ගන්නා තුරු මේ වන විට බලාත්මක කර ගත් පනත මඟින් උපරිම දායකත්වයක් රටට ලබාදීමට සියලුම පාර්ශ්ව නොපිරිහෙළා කටයුතු කළ යුතුව ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.

Advertiesment