Tuesday 23rd of July 2024

English Tamil
Advertiesment


නතාෂා බේරුණේ ICCPR ගැන බෝගොල්ලාගම කර තිබූ විග්‍රහය මතයි


2023-07-06 13970

 

 

ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද..?

 

 

නතාෂා එදිරිසූරියට මහාධිකරණයෙන් ඇප

 

 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය බදාදා (05) නියෝග කළේය.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් අප්‍රේල් මස කොළඹ පැවති "මෝඩාභිමානය" නැමැති වැඩ සටහනකදී සැකකාරිය කළ ප්‍රකාශයකින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගත් ඇය මේ වන විට එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව සඳහන් කළේය.

ඇය ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් බවත් ඇය විසින් කළ ප්‍රකාශය තුළින් බුදු දහමට හෝ බුද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය. කෙසේ වෙතත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටින බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.

"ස්වාමීනී...මෙම තැනැත්තිය "මෝඩාභිමානය" වැඩ සටහන් තුනක් පවත්වා තිබෙනවා. තුන්වෙනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු දහමට නිග්‍රහ කිරීමටයි. ඇය ආගම ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උගත් තැනැත්තියක්. ඇය 2017 වසරේ සිට විශාදය නමැති රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බවටත් සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවයෙන් පෙළෙන බවටත් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම කොයිතරම් භයානක ද කියලා එකෙන් පේනවා. ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්තයි. අසභ්‍ය සහ අශ්ලීල බව සරල කරමින් සමාජ ගත කිරීම තමයි ඇය සිදු කර තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේ වගේ වීඩියෝ පට යූ ටියුබ් නාලිකාවට උඩුගත කරලා ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14 ක පමණ ආදායමක් උපයා ගෙන තිබෙනවා" යනුවෙන් සඳහන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණයට කිසියම් ලේඛණයක් ද ඉදිරිපත් කළේය.

 
 
YouTube මගින් අදායම් ඉපයීම නීති වීරෝධී යැයි නීතියක් තිබේද..?

 


ලේඛනය පරික්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා "ඕනම පුද්ගලයෙකුට යූටියුබ් නාලිකාවට වීඩියෝ උඩුගත කරන්න පුළුවන්. ඒ තුළින් උපයා ගන්නා ආදායම නීති විරෝධී කියලා කොහේ හරි නීතියක් තිබෙනවද..? " යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු ලබා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කළේ එසේ මුදල් උපයා ගැනීම නීති විරෝධී නොවන බවය. මෙම පුද්ගලයින් ද්වේශ සහගත තොරතුරු ඇතුළත් වීඩියෝ යූ ටියුබ් නාලිකාවල මුදා හැර මුදල් උපයා ගන්නා බව සඳහන් කිරීම සඳහා තමා මෙම ලේඛනය ඉදිරිපත් කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

 
ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද..?

 


මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඇමතූ විනිසුරුවරයා "මේ තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. නමුත් යම්කිසි දෙයක් ඉදිරිපත් කළ පමණින් ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද..? විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද..? යම් යම් ප්‍රකාශවලින් විවිධ පුද්ගලයින්ගේ සහ ජන කණ්ඩායම්වල සිත් රිදීම් සහ සිත් තැවුල් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලක්ම වෛරී ප්‍රකාශ යන්නට ඇතුළත් කරන්න බැහැ." යනුවෙන් සඳහන් කළ අතර බුදුරජාණන් වහන්සේ පවා තමා යමක් කී පමණින් එය විශ්වාස නොකරන ලෙසත් හොඳින් සොයා බලා යමක් විශ්වාස කරන ලෙසත් දේශනා කර ඇති බවත් සඳහන් කර සිටියේය.


අනතුරුව විනිසුරුවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ "එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා විසිනුයි. එසේ ඉදිරිපත් කරමින් එම පනත් කෙටුම්පතේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් කිරීම සඳහා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත තුළ අන්තර්ගත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් වශයෙන් පිළි ගෙන නොමැති අයිතිවාසිකම් මෙරට තුළ තහවුරු කිරීම සඳහා තමයි අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකය සම්මත කළේ.


ඉතින් ඒ පනත් කෙටුම්පතේ 3 (1) වගන්තියේ සඳහන් වෙනවා "වෛරී ප්‍රකාශ" පිළිබඳව. මේ වෛරී ප්‍රකාශ මොනවාද යන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ වෛරී ප්‍රකාශ පිළිබඳ වැඩ සටහනේ සඳහන් වෙනවා. එක්සත් ජාතීන්ගේ නිර්ණායකයට අනුව වෛරී ප්‍රකාශ වර්ග තුනක් තිබෙනවා. සමූල ඝාතන පිළිබඳ වෛරී ප්‍රකාශ, මධ්‍යම මට්ටමේ වෛරය ප්‍රකාශ සහ හුදු නඩු පැවරීම්වලට හේතු වන වෛරී ප්‍රකාශ.

ඒ අනුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3 (1) වගන්තිය යටතේ සඳහන් "වෛරී ප්‍රකාශ" යන්න අර්ථ කථනය කිරීමට සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ නිර්ණායක සමඟයි.

එසේ නොකොට භික්ෂූන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් "වෛරී ප්‍රකාශ" යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය මතු වෙනවා.

මොකද මෙරටට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත හඳුන්වා දීමේදී ව්‍යවස්ථාදායකයේ අරමුණ වුණේ මෙරට මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම. ඊට පටහැනිව මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කළ හොත් ව්‍යවස්ථාදායකයේ අරමුණු බිඳ වැටෙන්න පුළුවන්" යනුවෙන් විනිසුරුවරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව දැනටමත් තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක් සිටින රටක් බවය. මෙවැනි ප්‍රකාශ හරහා ආගමික යුද්ධයක්ද මතු වීමට ඉඩකඩ පවතින නිසා බැලූ බැල්මටම වරදක් අනාවරණය වන හෙයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණ ආයතනවලට සිදු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් සැකකාරියක් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පශ්චාත්තාපයට පත්ව සමාව අයදින බව ප්‍රකාශ කරන නිසා ඇයට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.

ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3 (1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවන හෙයින් සැකකාරිය තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියේය.

 
(BBC)

 

Advertiesment