Tuesday 23rd of July 2024

English Tamil
Advertiesment


ප්‍රතිසන්ධානය වෙනුවෙන් අවශ්‍ය වන්නේ අවංකභාවයයි  


2023-07-01 13968

 

(ආචාර්ය ජෙහාන් පෙරේරා)

 

ශ්‍රී ලංකාව තුළ යුක්තිය සහ වගවීම සඳහා වන අන්තර්ජාතික ගවේෂණය අඛණ්ඩව සිදුවන බවට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ප්‍රමාණවත් සාක්ෂියකි. මෙවර වාර්ෂික වාර්තාව ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සඳහන් කරන ලද්දේ, “ශ්‍රී ලංකාව තුළ, වගවීම සම්බන්ධ කවුන්සිලයේ යෝජනාවල අංගයන් රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කළද, කවුන්සිලය සිය කාර්යභාරයේ අඛණ්ඩව නිරතව සිටී. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවට අපගේ නියෝජියන් සැළකිවයුතු සංඛ්‍යාවක් පැමිණ ඇති අතර, ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස මම බලධාරීන් දිරිමත් කරමි" යනුවෙනි. ජනාධිපතිධූරය ගෝඨාභය රාජපක්ෂගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා වෙනස්වීමෙන් අන්තර්ජාතික ප්‍රජාවේ අපේක්ෂාවන්ට සහ රජයට ඉදිරිපත් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියේ කිසිදු වෙනසක් සිදුවී නොමැත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී දිගහැරෙන සිදුවීම්වලට සමගාමීව ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් සහ අතුරුදන්වූවන් පිළිබඳව, ප්‍රමුඛ පෙළේ සිවිල් සංවිධාන පහක් විසින් සිදු කරන ලද අතීත විමර්ශන පිළිබඳ වාර්තාවක් එළිදැක්වීම සිදුවිය. අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් වන සංවිධානයේ නිර්මාතෘ සහ දීර්ඝ කාලීන සිවිල් සමාජ ක්‍රියාකාරික බ්‍රිටෝ ප්‍රනාන්දු පවසන්නේ “දශක තුනකට පසුව සහ සිදුකරන ලද විමර්ශන රාශියකින් පසුවද මෙතෙක් හඳුනාගනු ලැබ, අදාළ පවුල් වෙත ආපසු ලබා දී ඇත්තේ සිරුරු අතලොස්සක් පමණකි. දිවයින පුරා නොගැඹුරු සොහොන්වල සිරුරු දසදහස් ගණනක් වැතිර සිටින බව අපි කවුරුත් දනිමු. එබැවින් අපට මෙම නරක ප්‍රගතියේ වේගය අවාසනාවක් ලෙස විස්තර කළ නොහැක. එය පැහැදිලි දේශපාලන උවමනාවක් නොමැතිකමකි" යනුවෙනි. යුද්ධයේදී මෙන්ම සමූහ මිනීවලවල්වල උරුමයක් ඉතිරි කළ ජවිපෙ කැරැල්ලේදීද තම ආදරණීයයන් අහිමිවූවන්ගේ වේදනාව පිළිබිඹු කරන මෙම සිදුවීම් පිළිබඳව සැළකිව යුතු ජනමාධ්‍ය ආවරණයක් ලැබී ඇත.

පශ්චාත් යුධ සමයේ වඩාත්ම සාධනීය ලක්‍ෂණයක් වන්නේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ මතභේදාත්මක කරුණු ඉදිරිපත් කිරීමට ජනමාධ්‍යය දක්වන කැමැත්තයි. අයිලන්ඩ් පුවත්පත අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රකාශනය එළිදැක්වීමට මුල් පිටුව වෙන්කළා පමණක් නොව, ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ල කරන ලද ජන සංහාරයේ චෝදනාව සම්බන්ධයෙන් තම රජයේ ස්ථාවරය පිළිබඳව කොළඹ කැනේඩියානු දූත මණ්ඩලය සමඟ ද සාකච්ඡා කළේය. කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පෙන්වාදුන්නේ, 2022 මැයි මාසයේදී කැනේඩියානු පාර්ලිමේන්තුව විසින් වසරේ මැයි 18 වැනිදා 'දෙමළ ජන සංහාර සැමරුම් දිනය' බවට පත්කිරීම සඳහා යෝජනාවක් ඒකමතිකව සම්මත කළ බවයි. පළමු දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය නිමිත්තෙන් කරන ලද මෙම ප්‍රකාශය කැනේඩියානු ස්ථාවරය පිළිබිඹු කරන බවත්, ශ්‍රී ලංකා ගැටුමින් විපතට පත්වූවන්ගේ සහ දිවි ගලවාගත් අයගේ මෙන්ම දුෂ්කරතාවලට මුහුණදෙන ශ්‍රී ලංකාවේ සැමගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම කැනඩාව නතර නොකරන බවත් කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය නැවත අවධාරණය කළේය.

 
උඩුකුරුකරන ලද කාර්යය

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ ප්‍රතිසන්ධානය සහ වගවීම සඳහා වන දිගුකාලීන ක්‍රියාමාර්ග කෙරෙහි තවදුරටත් අවධානය යොමු කරන බවත්, ජාතික ස්වෛරීත්වය ඛාදනය කරන අන්තර්ජාතික යාන්ත්‍රණවලට විරුද්ධ බවත් රජයේ ස්ථාවරය වී තිබේ. 2009 දී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ පළමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන්, එනම් යුද පිටියේදී යුද්ධය ලේ වැකි ලෙස අවසන් වූ වසරේ සිට, අනුප්‍රාප්තික රජයන් විසින් එම යෝජනා පරාජය කිරීමට උත්සාහ කර ඇති අතර,හිටපු ජිනීවා තානාපති ආචාර්ය දයාන් ජයතිලක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් පළමු අවස්ථාවේදී වරක් එය සාර්ථක විය. එහෙත් තමන් විසින්ම පිහිටුවන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ඇතුළු තමන් දුන් පොරොන්දු ක්‍රියාවට නැංවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය අපොහොසත් වීමත් සමඟම රැල්ල පෙරළී ශ්‍රී ලංකාව තවත් යෝජනා භාරගැනීමේ අන්තයට තල්ලු කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ කළ එකම අවස්ථාව වූයේ, රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය දැරූ 2015 ආණ්ඩුව සමයේ යාවත්කාලීන කළ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට එකඟ වූ අවස්ථාවේදී පමණකි. ආරක්‍ෂක හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පරීක්‍ෂා කිරීම, මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් ආරක්‍ෂක අංශවලින් ඉවත් කිරීම සහ වගවීම පිළිබඳ ප්‍රශ්න සොයා බැලීම සඳහා අන්තර්ජාතික  සහභාගිත්වය ඇති විශේෂ අධිකරණ පිහිටුවීම වැනි නිර්දේශ රැසක් රජය විසින් එහිදී පිළිගනු ලැබීය. එම වකවානුව තුළ රජය විසින් ඉඩම් ආපසු ලබාදීම සහ සිවිල් ජීවිතයට බලපාන හමුදා භූමිකාව අඩු කිරීම වැනි ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යම් උත්සාහයක් ගත්තේය. එහෙත් ඊට සමගාමීව පිහිටුවූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය වැනි ආයතන සතුව පැවැති කාර්යභාරයේ සීමිත ස්වභාවය නිසා එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වූ විශ්වාසනීයත්වය ඉක්මණින්ම අහිමි විය. යුද්ධය නිමාකර, රටේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සේවයක් ඉටු කර ඇති ආරක්ෂක හමුදාවන්ගේ අතීතය සොයාබැලීම සම්බන්ධයෙන් රාජ්‍ය පද්ධතිය තුළින් මෙන්ම සමාජය තුළින්ද විරෝධයක් එල්ල විය.

රටේ තුවාල සුව කිරීමේ ක්‍රියාවලියක කොටසක් ලෙස, ස්පාඤ්ඤයේ ස්වේච්ඡා සේවකයන්, අධිකරණ වෛද්‍යවරුන් සහ  පුරාවිද්‍යාඥයන් එක්ව ඕර්ඩුනාහි බාස්ක් නගරයේ සිදුකරන ලද කැණීම්වලදී, 1941 ඒකාධිපති යුගයේ සොහොන්වලින් සිරුරු 53 ක් ගොඩගත් බව මාස කිහිපයකට පෙර අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තා කළේය. 1936-1939 ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී 500,000 කට වැඩි පිරිසක් මිය ගියේය. ඉතිහාසඥයින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට 100,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති අතර බොහෝදෙනෙක් සලකුණු නොකළ සමූහ මිනීවළවල්වල වළදමා තිබේ. හිටපු ජනාධිපති ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ මරණයෙන් දශක හතරකට පසුව තවමත්, එම ආඥාදායකත්වයේ අපරාධ පිළිබඳ සත්‍යය සෙවීමට සහ ජනයාගේ පෑරුණු තුවාල සුවකිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, සළකුණු නොකළ සොහොන්වලින් සිරුරු ගොඩගැනීම් සඳහා මුදල් සැපයීම සඳහා 2020 දී පවා නීතියක් අනුමත කෙරිණි. රජය එම පියවර ගනු ලැබුවේ වසර 80 කට වැඩි කාලයක් ගතව තිබියදීය. අද දක්වාම, ස්පාඤ්ඤය බාස්ක් බෙදුම්වාදයට දායකවූ සිවිල් යුද්ධයේ සුව නොකළ තුවාල සහ බෙදීම් දිගටම පවතියි.

 
මැජික් උණ්ඩය

 

ඕනෑම සමාජයක් බැඳී සිටින මූලිකාංග වන්නේ, යුක්තිය සහ වගවීම, මිනිසුන්ට තමන්ට සාධාරණ ලෙස සළකනු ලබන බව යන හැඟීම වන අතර, යම් හෙයකින් එසේ නොසළකන්නේ නම් විශේෂයෙන් රජය විසින් ඔවුන්ට යුක්තිය සලසාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. අන්තර්ජාතික ප්‍රජාව යන්නෙන් අදහස් කෙරෙන්නේ, ඉහළ සංවර්ධනයක් සහ සමෘද්ධියක් අත්කරගත් බටහිර රටවල්ය. බටහිර රටවල් තම ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාකරන අතර, වඩා විශාල වශයෙන් ඔවුන්ට සාධාරය ඉටුවන සමාජයන් නිර්මාණය කර ඇත. එහිදී, සංවර්ධනය, යුක්තිය සහ සමෘද්ධිය අතින් අප පසුගාමී බැවින්, ඔවුන් ශ්‍රී ලංකාවට ලබාදෙන මාර්ගෝපදේශ පිළිපැදිය යුතුව තිබේ. මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල්- නෆීස් (Nada Al-Nashif) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී මෙසේ සඳහන් කළාය. “අවශ්‍ය වන්නේ සත්‍යය, වන්දි ගෙවීම, අනුස්මරණය, වගවීම සහ තිරසාර සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය යන විවිධ අංග සම්බන්ධ කරන සහ සාර්ථක වාතාවරණයක් සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරන සුසංයෝගී සැලැස්මකි”.

අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ල වන මෙම බලපෑම්වලට රජය දක්වන ප්‍රතිචාරය වන්නේ, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වැනි දැනටමත් ක්‍රියාත්මක වන යාන්ත්‍රණ යළි පණ ගැන්වීම සහ ශක්තිමත් කිරීමයි. නව නායකත්වය යටතේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට අදාළ ධාරිතාව අන්තර්ජාතික ප්‍රජාවේ සහ සිවිල් සමාජය යන දෙඅංශයේම සහයෝගය ඇතිව ගොඩනඟා ගනිමින් සිටී. එසේම ඉඩම් නැවත ජනතාවට ලබාදීමේ ක්‍රියාවලිය රජය විසින් අඛණ්ඩව කරගෙන යයි. අතුරුදහන්වූවන්ගේ සහ මානව හිමිකම් කඩවීම්වලට ගොදුරුවූවන්ගේ පවුල් සඳහා මූල්‍ය හා සංකේතාත්මක වන්දි පිරිනැමීමේදී, වන්දි ගෙවීමේ කාර්යාලයේ කාර්යභාරය වැඩි කිරීමට දරන ප්‍රයත්නයන් සමඟ මෙය සිදුකෙරේ. එහෙත් ආණ්ඩුවේ අවි ගබඩාවේ ඇති ප්‍රධාන මෙවලම යෝජිත සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම බව පෙනේ. සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම පිළිබඳ කෙටුම්පත සම්බන්ධයෙන් ලබන මස වන විට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමට නියමිතය. සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම පිළිබඳ කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු පසු, එය 2023 දෙසැම්බර් වන විට ක්‍රියාත්මක කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත.

කෙසේවෙතත් අදාළ කෙටුම්පත දැක ඇති දෙමළ නායකයන්ට අනුව සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම ඔස්සේ වගවීමේ ගැටලුවට විසඳුම් ලබානොදේ. අපරාධ සිදුකරන අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කිරීම එයට ඇතුළත් නොවේ. පසුගිය කැරලි මර්දනයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ, විවෘතව මෙන්ම රහසිගතව ආණ්ඩුව මෙහෙයවන්නන්ගෙන් මේ මොහොතේ එවැනි වගවීමක් බලාපොරොත්තු විය නොහැක. ආණ්ඩුවේ නායකයන් තමන් විසින් තමන්ටම චෝදනා එල්ල කරගනු ඇතැයි අපේක්ෂා කිරීම හෝ එවැනි අධිචෝදනා සහ නඩු පැවරීමට පාර කැපීම සිදුකරනු ඇතැයි සිතීමද සාධාරණ නොවේ. ආරක්ෂක හමුදාවන් ඉලක්ක කර ගැනීමක් ඔස්සේ, පසුගිය වසර 80 තුළ ස්පාඤ්ඤයේ පැවති ආකාරයටම සමාජය තුළ බෙදීමක් ඇති කිරීමට ද හේතු වනු ඇති අතර, එවැනි නායකත්වයකට එරෙහිව මහජනයා ඡන්දය ලබාදීමටද කටයුතු කරනු ඇත. ඇත්ත වශයෙන්ම, 2019 දී, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාව ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ සටන් හඬ බවට පත්කරගෙන, බහුතර සිංහල ඡන්දවලින් බලයට පත්වූ අවස්ථාවේදී මෙය දැකගත හැකිවිය.

අතුරුදහන්වූවන්ට සිදුවූයේ කුමක්ද යන්නත්, අන්තර්ජාතික ප්‍රජාව වෙත ලැබෙන විශාල චිත්‍රය තුළ ජන සංහාරය පිළිබඳ චෝදනාව ආමන්ත්‍රණය කිරීමත් යන කරුණු දෙකෙහිම සත්‍යය තහවුරු කෙරෙන, වර්තමාන සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ කාර්යභාරය සීමිත එකක් ලෙස පිළිගත යුතුව ඇත. අතීතයේ සිදු වූ වැරදි නැවත සිදුනොවීමට නම් ශ්‍රී ලංකාව තුළදී මෙන්ම විදේශයන්හිදී ද අතීතය පිළිබඳ දැනුවත්භාවයක් ඇති කිරීමේ විශාල අවශ්‍යතාවක් පවතී. සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම නම් මැජික් උණ්ඩය හෝ වෙනත් විකල්ප ක්‍රියාවලියක් ඔස්සේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට පිළිතුර සැපයෙන්නේ නැත. ඊට අවශ්‍ය වන්නේ අවංකභාවයයි.
 

Advertiesment