Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ජන ගහනයෙන් මිලියන 3.9ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙති 


2023-05-30 14336

 

ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් මිලියන 3.9ක් තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර බෝග සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවේ දැක්වේ.

උතුරු-නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ජනතාව වැඩි වශයෙන් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිත තාවයෙන් පෙළෙන බව එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ නමුත් 2022 වසරේ ජූනි සහ ජූලි මාසයන් සමඟ සැසඳීමේ දී මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පිරිස සියයට 40 කින් පමණ අඩු වී ඇතැයි ද එම වාර්තාව පෙන්වා දී තිබේ.

2022 වසරේ 66,000 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණත් මේ වන විට එම පිරිස 10,000 දක්වා අඩු වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. ආහාර සුරක්ෂිතතාවය වර්ධනය වීමට යහපත් ආහාර පරිභෝජනය, ආහාර මිල යම්තාක් දුරට අඩු වීම සහ අස්වනු නෙලීම හේතුවෙන් ආදායම් මට්ටම වර්ධනය වීම යන කරුණු බලපා ඇත.

තවමත් කිලිනොච්චිය, නුවරඑළිය, මන්නාරම, මඩකලපුව, වව්නියාව සහ යාපනය වැනි දිස්ත්‍රික්කවල ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතින බව එම වාර්තාවේ දැක්වේ.

වතුකරයේ පවුල්වල, සමාජ ආධාර වැඩසටහන් මත යැපෙන සහ දෛනික වැටුප් ලබන පවුල්වල උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක් තවමත් වාර්තා වන බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

 

Advertiesment