Sunday 10th of December 2023

English Tamil
Advertiesment


අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි


2023-05-26 2820

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා පැවැත් වූ දේව මෙහෙයකදී තමන් පළ කරන ලද මතයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

ඊට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තමන්ව සැකකරුවකු ලෙස නම් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන බවත් පෙත්සම්කරු පෙත්සමෙන් දක්වා තිබේ.

තමන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පවසන පෙත්සම්කරු තමන් විසින් පළ කළ මතය තුළින් අදාළ වැරදි උද්ගත නොවන බව පෙන්වා දී ඇත.

තමන් පළ කරන ලද මතය තුළින් ආගමික අසමගියක් නිර්මාණය වන බව පොලිසිය විසින් ප්‍රකාශ කළද ඒ බව තහවුරු කෙරෙන සිද්ධි හෝ සාක්ෂි කිසිවක් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

ඒ අනුව පොලිසිය විසින් තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් දේවගැතිවරයා සිය පෙත්සමෙන් දක්වා ඇත. මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

 
සාධාරණ පරීක්ෂණයක් කරන්න

 

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා විසින් මැයි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මේබව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගම් අතර නොසන්සුන්තාවක් නිර්මාණය වන ආකාරයේ ප්‍රකාශයක් කර ඇතැයි චෝදනා කළේය.

ප්‍රකාශය තුළින් අදාළ දේවගැතිවරයා බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන්ට බරපතල අපහාසයක් සිදු කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයින් දැඩි විරෝධය පළ කර තිබෙන බවත් ඔහු කියා සිටියේය.

මෙම ප්‍රකාශය පිළිබඳව ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා ද සිය අවධානය යොමු කර තිබුණද මේ දක්වා ඵලදායි පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙම දේවගැතිවරයා පිටුපස විශාල දේශපාලන හස්තයන් පවතින බැවින් එම පරීක්ෂණ යටපත් වීමේ අවධානමක් පවතින බවත් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙනු ලැබීය.

එම නිසා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණි බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි සඳහන් කළේය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අදාළ විමර්ශන කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කියා සිටියේය. මෙම දේවගැතිවරයා විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ලබා ගෙන තිබෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන වැඩිදුරටත් අධිකරණය මේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවට වගඋත්තරකරුවන් අධිකරණය ට ප්‍රතිඥාවක් ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යන බවය. ඒ අනුව අදාළ කරුණු සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නැවත ජුලි මස 28 වැනිදා කැදවීමට නියෝග කළේය.

 
-BBC-
සිංහල  
Advertiesment