Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


වැඩ කරන ජනතාව සහ ආයෝජකයින් අතර සංහිඳියාවක් අවශ්‍යයි


2023-05-16 2750

 

රට සමග සෙල්ලම් කිරීම වහාම නතර කරනු 

 

දේශපාලන පක්ෂ-ජාති සහ ආගම් අතර ද සංහිඳියාවක් තිබිය යුතුයි 

 

එසේ නොමැතිව රට ගොඩගනු බැහැ    

 

රටේ  ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩ කරන ජනතාව සහ ආයෝජකයින් අතර සංහිඳියාවක් ඇති කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

ඒ සඳහා සියලු ජාතීන් සහ ආගමිකයින් අතර සේම දේශපාලන පක්ෂ අතර ද සංහිඳියාවක් ඇති කළ යුතු බව පෙන්වා දෙන රවී කරුණානායක මහතා මෙසේ ද කියා සිටියි.

"රටේ  ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩ කරන ජනතාව සහ ආයෝජකයින් අතර සේම සියලු ජාතීන් සහ ආගමිකයින් අතර ද සමගියක් අවශ්‍ය වන බව කිව යුතුයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එදා සිටම සියලු දෙනා එකට ඒකරාශී කළ පක්ෂයක් බව කවුරුත් දන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ඇතුළු සියලු ජාතීන් සහ සියලු ආගමිකයින් එකට ඒකරාශී කරන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයි. ජාති වාදයක් නොමැති ආඩම්බරයෙන් නියෝජනය කළ හැකි එකම පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයි.

රට සංවර්ධනය කිරීම සඳහා දේශපාලන පක්ෂ, ජාති සහ ආගම් භේද ඉවතලා සියලු දෙනා එකට ඒකරාශී විය යුතු කාලය එළැඹ තිබෙනවා. දේශපාලන පක්ෂ අතර සංහිඳියාවක් තිබිය යුතුයි. රට සමග සෙල්ලම් කිරීම වහාම නතර කළ යුතුයි. සියලු ජාති සහ ආගම් අතර ද සාමාග්‍රියක් තිබිය යුතුයි. 

මේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයට එකතු කර එක්සත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන ආකාරයට 2048 වන විට එනම් ඉදිරි අවුරුදු 25 ඇතුළත මේ තිබෙන දැවැන්ත අභියෝගවලට බිය නැතිව නායකත්වය දී අප මේ රට සංවර්ධිත රටක් කරනවා."

Advertiesment