ශ්‍රී ලංකාවේ පාසල් දූ දරුවන්ගෙන් තුනෙන් එකකට එනම් ලක්ෂ 14ක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව වෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළයේ සේම ශරීරයේ වර්ධනයට ඉතා අහිත කර ලෙස බලපාන බව එම පරීක්ෂණවලින් තොරතුරු හෙළිවී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
මේ අතර දූ දරුවන්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය දූ දරුවන්ට එරෙහි අපයෝජන සහ ප්‍රචණ්ඩත්වය වැඩි වීමටද ප්‍රධාන හේතුවක්වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වෙන බව පවසන මන්ත්‍රීවරයා මේ ප්‍රවණතාව දිගින් දිගටම පැවැතුණ හොත් ළමයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගොඩනඟා ගෙන ඇති ප්‍රගතිය ආපසු හැරී යෑමේ හෝ සමහර විටෙක ස්ථීරවම නැති වීමේ අවදානමක් පවතින බවද පෙන්වා දුන්නේය.
දූ දරුවන් පෝෂණය කිරීමේ වගකීම අද මවුපියන්ට දරා ගත නොහැකි බරක්වී ඇතැයි පවසන ගාමිණී වලේබොඩ මහතා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ට ලබා දිය යුතු පෝෂ්‍ය පදාර්ථ සපිරි සත්ත්ව ආහාර සේම ශාක ආහාරද ලබා දීමට වෙනදා වගේ මවුපියන්ට හැකියාවක් නැතැයිද සඳහන් කළේය.
මේ හේතුවෙන් නුදුරු අනාගතයේදීම පෙනෙන සහ නොපෙනෙන පෝෂණ ඌනතා ළමයින් අතර වැඩි විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇතැයිද, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී සහ අඩු පෝෂණ අධ්‍යාපනයක් සහිත පවුල්වල දරුවන් අතර මේ තත්ත්වය වඩාත් දරුණු විය හැකි යැයිද ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දුන්නේය.
Lanka Newsweek © 2024