Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ජාතික ඵලදායීතා කොමිෂන් සභාවේ කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය


2023-05-03 14338

 

ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවේ ක්‍රියාකාරී කණ්ඩායම අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගගත (Online) සැසියක් පසුගියදා පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය විසින් මෙම සැසිය සංවිධානය කර තිබිණි.

රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවා තිබෙන අතර ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම එහි ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන තිබේ.

පවතින ආර්ථික අභියෝග හමුවේ වුව ද, 2023 අය වැයෙන් මෙම කොමිෂන් සභාව පිහිටුවීම සඳහා රජය අරමුදල් වෙන් කරනු ලැබුවේ ඒ අනුවය. විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංවිධානවල සාමාජිකයින්ගෙන් සමන්විත අන්තර් අමාත්‍යාංශ ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් මෙහි කටයුතු මෙහෙයවනු ලැබේ.

ඵලදායිතාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර ක්‍රමවේද සොයා බැලීම මෙම කොමිෂන් සභාවේ අරමුණ වන අතර මේ සඳහා ජාත්‍යන්තරව පිළිගෙන ඇති ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිසමේ සහාය රජය ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එකඟතාව පළ කරනු ලැබීය.

මෙම මුල පිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පුනර්ජීවනය සඳහා ඕස්ටේලියානු රජයේ සහයෝගය පිළිබිඹු කිරීමක් වන අතර එමඟින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා ද තහවුරු කරයි.

Advertiesment