Sunday 10th of December 2023

English Tamil
Advertiesment


2048 දී ජය ගැනීමට 2024 දී රනිල් ජනපති කළ යුතුයි 


2023-05-01 1736

 

ඊට සමගාමීව එජාප ආණ්ඩුවක් ගොඩනගමු 

 

රට ගොඩගත හැක්කේ එජාප ජනපතිවරයෙකු සහ එජාප ආණ්ඩුවක් යටතේ විතරයි 

 

රවී කරුණානායක අවධාරණය කරයි 

 

සියලු අභියෝග සහ ප්‍රශ්න ජය ගනිමින් 2048 දී සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා ප්‍රථමයෙන් කළ යුත්තේ 2024 මැයි පළමු වැනිදා වන විට අපේම නායක රනිල් වික්‍රමසිංහ මහතා අපේ රටේ ජනාධිපති කරවීම යැයි හිටපු මුදල් ඇමති සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. 

ඒ වගේම 2024 මැයි මාසයට පෙර සියලුම මිත්‍රශීලී පක්ෂ සමග එකට ඒකරාශී වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදිය යුතු යැයි රවී කරුණානායක මහතා කියා සිටියි.

රවී කරුණානායක මහතා මේ අදහස් පළ කළේ, "ජය ගමු-2048" යන තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.    

අවුරුදු ගණනාවක් පක්ෂයක් ලෙස අප මැයි දිනය සමරා තිබුණාට මේ අවස්ථාවේ දී අප මේ මැයි දිනය සහ මැයි රැලිය පවත්වන්නේ ඉතාම වැදගත් සහ තීරණාත්මක සන්ධිස්ථානයක දී බව කිව යුතුයි. ගෙවුණු වකවානුවේ දී අප ගත කළේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් ඇතුළු පෝලිම් යුගයකයි. ඒ වගේම රටට-ජනතාවට විදුලිය අඛණ්ඩව ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඒ සියලු ප්‍රශ්න විසඳා තිබෙනවා.

මේ ප්‍රශ්න වැඩ කරන ජනතාවට විතරක් නොව දෙස්-විදෙස් ආයෝජකයින්ට ද තිබුණා. මේ දෙගොල්ලන්ටම මේ ප්‍රශ්නය තිබුණ නිසා අප අලුතින් සිතන යුගයකට ගමන් කළා. අප සිටින්නේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් සටන් කරන යුගයක නොවේ. රටේ නව යුගයක් වෙනුවෙනුත් අප සටන් කළ යුතුයි.

ආයෝජකයින්ගේ ව්‍යාපාර සාර්ථකව පවත්වා ගෙන යාමටත් වැඩ කරන ජතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමටත් එක කොන්දේසියක් සැපිරිය යුතු වනවා. ඒ තමයි අප සියලු දෙනාට ජීවත් විය හැකි සාමකාමී රටක් තිබීම. ඒ යථාර්ථය අප සියලු දෙන තේරුම් ගත යුතුයි. එසේ නම් මේ මැයි දිනයේ සිට නව චිනතයකින් පිබිදෙමු. රට පෙරට තබා වැඩ කරමු. රට වෙනුවෙන් වැඩ කරමු. එවැනි රටක දී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ අයිතිවාසිකම් ඔබ පසුපස ඒවි.

වැඩ කරන ජනතාවට සහන ලබා දීම සඳහා වැඩි වැඩියෙන් රටේ ආර්ථිකය සවි ශක්තිමත් කළ යුතුයි. ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩ කරන ජනතාව සහ ආයෝජකයින් අතර සංහිඳියාවක් ඇති කළ යුතුයි. "Digital' කරණය සහ විශ්වීය කරණය හේතුවෙන් රැඩිකල් වෙනසක් ඇතිවී තිබෙනවා. අලුතින් සිතා අලුතින් ගමන් කරන යුගයකට අප පා තැබිය යුතුයි. ඒ නිසා තමයි අප 2048 ඉලක්ක කර ගෙන "අපි ජය ගමු" යන තේමාව යටතේ වැඩ කරන්නේ...එක්සත් ජාතික පක්ෂය ලෙස අප ඒ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කරනවා.

ස්වයං විවේචනයකින් අප අපේ අඩුපාඩු සහ දුර්වලකම් හඳුනා ගෙන තිබෙනවා. "System Change" එකක් වෙනුවෙන් අප කටයුතු කර ගෙන යනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබෙන විට හැමදාම රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. අපේ ආණ්ඩු යටතේ වැඩ කරන ජනතාවට සහන ලැබෙනවා. ඒ විතරක් නොවෙයි...හැම අවස්ථාවේදීම මිනිසුන්ගේ සාක්කුවේ සල්ලි තිබෙනවා. කෙසේ නමුත් අපේ අඩුපාඩු නිසා ජනතාව අපව ප්‍රතික්ෂේප කළා.

මේ වන විට ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ඇත්ත තත්ත්වය දන ගෙන කටයුතු කරමින් අප සමග එකට ඒකරාශී වෙමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වීම අපටත් රටටත් ජනතාවටත් යෝධ ශක්තියක් වී තිබෙනවා. අප සියලු දෙනා එක්සත්ව වැඩ කළ යුතුයි. පක්ෂයක් ලෙස එදා සිට අප ජනතාවට කියපු දී රනිල් වික්‍රමසිංහ මහතා අද නිවැරදිව ක්‍රියාත්මක කරනවා. විවිධ පක්ෂ අපට චෝදනා කළත් මුළු ලෝකයම අද බලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය දෙසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අපට හැකි වුණේ මුල්‍ය විනය සහ විශ්වාසය නිසයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම අවස්ථාවේදී ම රටට-ජනතාවට සේවය කළ පක්ෂයක් බව කිව යුතුයි. 1947 බිහි කළ එක්සත් ජාතික පක්ෂය 1948 වන විට ජාතික නිදහස දිනා ගනිමින් සුද්දගෙන් බලය ගෙන අප ඉදිරියට ගමන් කරනවා. ඊට පසුව 1977 ජේ ආර් ජයවර්ධන මහතා මේ පක්ෂයට අලුත් අර්ථයක් දෙනවා. විවිධ පක්ෂ කෑ ගැසුවට රටත් ලෝකයත් එක්සත් කරන වැඩ පිළිවෙළ වූයේ එතුමාගේ විවෘත්ත ආර්ථිකයයි.

කඩා වැටුණු සහ බංකොලොත් වූ රට නිවැරදි නායකත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනගමින් සිටිනවා. මේ වන විට තෙල් මිල තුන් වැනි වතාවටත් අඩු වී තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙමින් තිබෙනවා. 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී මාව මුදල් ඇමති ලෙස පත් කරන අවස්ථාවේ දී මට දුන්නු උපදෙස්ය තමයි මේ රට මුල්‍ය විනයක් ඇති රටක් බවට පත් කළ යුතු බව...එදා 8.2%ක් ව පැවති දළ දේශීය නිෂ්පාදිතය මාස තිස් තුනකින් 15% දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා. අපි රාජ්‍ය සේවක වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළා. තෙල් මිල අඩු කළා වගේම භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු කර ජනතාවට සහන දුන්නා.

අද රාජ්‍ය සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටිනවා. රටේ බදු ගෙවන ජනතාවගේ මුළු ආදායමෙන් 76% ඉක්මවා යන්නේ මේ ලක්ෂ 17 නඩත්තු කිරීමටයි. මෙහි ප්‍රතිලාභ සැබෑ ලෙස ලැබෙනවා ද කියා ජනතාව සිතිය යුතුයි. ඒ විතරක් නොවෙයි...ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් එයාර් සහ ජාල සම්පාදන මණ්ඩලය වැනි ආයතන ගෙවුණු අවුරුදු හතර ඇතුළත බිලියන 1350ක අලාභයක් ලබා තිබෙනවා. මේ සල්ලිවලින් ඔබටත් අපටත් ලාබයක් ලැබී නැහැ. මේ සල්ලි ටික ඉතුරු කළා නම් ගෙවල් ලක්ෂ 12ක් හදන්න තිබුණා. ඒ වගේම සෑම පුද්ගලයෙකුටම රුපියල් 178000ක් ඉතුරු කර ගැනීමට තිබුණා.

මුල්‍ය විනයක් නොමැතිව කටයුතු කර ඒ සල්ලි නාස්ති කරලා...මේ සියල්ල නොමිලයේ ලබා දීමේ ප්‍රතිවිපාකයි. ආදායමට වඩා වියදම් කරලා බංකොලොත් නොවී රටක් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද..? අපට අවශ්‍ය වන්නේ රටේ දූ දරුවන්ට අදට වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කර දීමටයි.

ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩ කරන ජනතාව සහ ආයෝජකයින් අතර සේම ජාතීන් අතර ද සමගියක් අවශ්‍ය වන බව කිව යුතුයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එදා සිටම සියලු දෙනා එකට ඒකරාශී කළ පක්ෂයක් බව කවුරුත් දන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ඇතුළු සියලු ජාතීන් සහ සියලු ආගමිකයින් එකට ඒකරාශී කරන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයි. ජාති වාදයක් නොමැති ආඩම්බරයෙන් නියෝජනය කළ හැකි එකම පක්ෂ එක්සත් ජාතික පක්ෂයි.

මේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයට එකතු කර එක්සත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා ආකාරයට 2048 වන විට එනම් ඉදිරි අවුරුදු 25 ඇතුළත මේ තිබෙන දැවැන්ත අභියෝගවලට බිය නැතිව නායකත්වය දී අප මේ රට සංවර්ධිත රටක් කරනවා.

මේ අභියෝග ජය ගනිමින් 2048 දී සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා අප ප්‍රථමයෙන් කළ යුත්තේ 2024 මැයි පළමු වැනිදා වන විට අපේම නායක රනිල් වික්‍රමසිංහ මහතා අපේ රටේ ජනාධිපති කරවීමයි. ඒ වගේම 2024 මැයි මාසයට පෙර සියලුම මිත්‍රශීලී පක්ෂ සමග එකට ඒකරාශී වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදිය යුතුයි.    
       

Advertiesment