Sunday 10th of December 2023

English Tamil
Advertiesment


IMF කොන්දේසිවලට සජබය විරුද්ධයි 


2023-04-27 3813

 

IMF ගිවිසුම පාර්ලිමේන්තුවට තවමත් ඉදිරිපත් කර නැහැ 

 

ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි 

 

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ගිවිසුමේ කොන්දේසිවලට අපි විරුද්ධයි" යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී බ්‍රහස්පතින්දා අදහස් දක්වමින් අවධාරණය කර සිටී අතර මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. 

සභා නායකතුමා අයි,එම්,එෆ්  ගිවිසුම ගැන කිව්වත් ගිවිසුම තාමත් සභා ගත කරලා නෑ.අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ ඔබතුමාලා කරපු ඉල්ලීමයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන ගිවිසුමයි. තවමත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. ගිවිසුම නැතුව තමයි අපි මේ වාද විවාද කරන්නේ. ගිවිසුම මොනවා තියනවද කියලා අපි දන්නේ නෑ. වත්මන් ජනාධිපතිතුමා ජනාධිපති වුණාට පස්සේ පාර්ලිමේන්තුවට කීප වතාවක් ආවා. අපි කිව්වා ගිවිසුමේ අඩංගු කරුණු අපට දෙන්න කියලා. නමුත් කිසිම කරුණක් අපට දුන්නේ නෑ.

ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව රට බංකලොත් කෙරුවා. අපි ආණ්ඩුව භාර දෙන කොට ඩොලර් මිලියන 7800ක් සමඟයි රට භාර දුන්නෙ. මේ අය ඒක බින්දුවට බැස්සුවා. ඒක තමයි පළවෙනි වැරැද්ද. දෙවැනි වරද්ද මොකක්ද..? දෙපැත්තෙම අය කියනවා දාසය වතාවක් අයි එම් එෆ් ගියා කියලා. නමුත් වෙනස මේකයි, ඒ හැම දාසය වතාවෙම ගියේ රට බංකොලොත් වෙන්න කලිනුයි. රට බංකොලොත් වෙන්න කලින් IMF ගියා නම් අපිට ගනුදෙනු කරන්න තිබ්බේ අයි එම් එෆ් එක සමග විතරයි. නමුත් බංකොලොත් වුණාට පස්සේ අයි,එම්,එෆ් ගියාම IMF අපි විතරක් නෙමෙයි ණය කරුවනුත් මේකට එකතු වෙනවා. මේකයි ආණ්ඩුව කරපු වැරැද්ද. බංකොලොත් වෙන බව දැන ගෙන ප්‍රමාද කෙරුවා .2021 බැසිල් රාජපක්ෂ මහතාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා අයි,එම්,එෆ් යනවද නැද්ද කියලා..? එතුමා ඒ වෙලාවෙත් කිව්වේ යන්නේ නෑ කියලා.

ආණ්ඩුව නියම වෙලාවට අයි,එම්,එෆ් ගියේ නෑ. රට බංකොලොත් වුණාට පස්සේ අයි එම් එෆ් එක්ක කතා කරලා මේක විසඳගන්න බැ. ණය කාරයෝ ඔක්කොම මේකට ඇතුළත් වුණා. ආණ්ඩුව මේ වගේ වැරදි කරලා කොහොමද රට පාලනය කරන්නේ. 

අපේ සභානායකතුමා කිව්වා බැංකුවට ගියාම ණයක් ගත්තාම සමාගම බංකොලොත් නම් බැංකුවෙන් කියනවා අලුත් අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරගන්න කියලා. දැන් රට බංකොලොත් කරපු අයම IMF ගිහිල්ලා රට ගොඩ ගන්න හදනවා. මේක කරන්න බෑ. සමාගමක් බැංකුවට ගියාම කියන්නෙත් බංකලොත් කරපු අධ්‍යක්ෂ මණ්ඩලය අස්වෙන්න කියලා. හරින්ම් දැන් ආණ්ඩුව ඉල්ලා අස් වෙන්න ඕනේ. බංකොලොත් කරපු අයට ණය දෙන්නේ නෑ.

අපේ රටට දැන් ඕන අලුත් ආණ්ඩුවක්. ජනාධිපතිතුමා එන කොට රට බංකොලොත් වෙලා. නමුත් ආණ්ඩුව තමයි මේ විනාශය කළේ. රට බංකොලොත් කෙරුවා. ප්‍රමාදවෙලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියා. මුළු රටම විනාශ කෙරුවා. 48 සිට ආණ්ඩු ගණනාවක් රට පාලනය කළා. කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කළේ නෑ. මේ අය රට බංකොලොත් කරලා හංග ගෙන හිටියා. පාර්ලිමේන්තුවට කිව්වෙත් නෑ. පාර්ලිමේන්තුවේ අපි දන්නෙත් නෑ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම කඩ කරලා තියෙන්නේ ආණ්ඩුවයි. මේ ගිවිසුමේ තියෙනවා රජය නීතිය නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න ඕනි කියලා. නමුත් රජය මොකක්ද කළේ..? සල්ලි හම්බ වුණා විතරයි මැතිවරණය කල් දැම්මා. අපි උසාවි ගියා. අධිකරණය කිව්වා මැතිවරණය තියන්න සල්ලි දෙන්න කියලා. නමුත් අධිකරණ නියෝගය නොසලකා හැරියා. කොහෙද නීතියේ උත්තරීතර භාවයක් තියෙන්නෙ..? අධිකරණ තීන්දුව නොසලකා හැරියා. තීන්දුව දුන්න විනිශ්චයකාරවරු පාර්ලිමේන්තුවට ගෙන්වන්න හැදුවා. දැනටමත් ආණ්ඩුව මේ ගිවිසුම කඩලා තියෙන්නේ. අපිට දොස් කියන්න එපා. ජුනි මාසයේ දී ඔබතුමාලට මේකට උත්තර දෙන්න වෙනවා.

පුවත්පතක තිබ්බා ආදායම දෙගුණයක් බවට පත්වෙලා. දැන් මැතිවරණය තියන්න පුළුවන්. ආණ්ඩුව කියනවා නම් දැන් ඔක්කොම හරි මිනිස්සුන්ට හොඳයි කියලා මැතිවරණයකුත් තියන්න. පුවත්පත්වල සමීක්ෂණ වාර්තා පවා කියන්නේ මැතිවරණයක් අවශ්‍යයි කියලා. අපි මේ ගිවිසුමේ කොන්දේසිවලට විරුද්ධයි. එකක් දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම. අනික් කාරණය අර්ථ සාධක අරමුදලේ තත්ත්වය. විදුලි බිල, අධික බදු බර සහ දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කෙරුවොත් වත්කම්වල වටිනාකම 30% කින් අඩු වෙනවා. EPF ප්‍රතිව්‍යුහ ගත කෙරුවොත් EPF වටිනාකම 30% කින් අඩු වෙනවා. මේක දරා ගන්න බෑ.

අපි ඔක්කොම අයි,එම්,එෆ් ගිවිසුම ගැන කතා කරනවා. නමුත් මොකද්ද ජනාධිපති තුමා කිව්වේ..? යලිත් 2019 පැවැති ප්‍රමාණයට දළ දේශීය නිෂ්පාදනය ළඟා වනුයේ 2028 දී බවයි. තව වසර කීයක් බලන් ඉන්න ඕනද..? මේ අය කරපු විනාශය තමයි මේ. දැන්වත් තේරුම් අර ගෙන ජනතා මතයට ඉඩ දෙන්න. මැතිවරණ කල් දාලා ඡන්දවලට බයේ රටක් පාලනය කරන්න පුලුවන්ද..? කෝවිඩ් අර්බුදය උච්ඡ අවස්ථාවේ දී ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණය තිබ්බා. මෝදි ප්‍රාන්ත පහම පැරදුනා. කොවිඩ් අර්බුදය මර්දනය කරලා රට හොඳ තත්ත්වයට ගෙනල්ලා මැතිවරණය තිබ්බාම. එතුමා ප්‍රාන්ත පහම දින්නා. මැතිවරණවලට බය වෙන්න එපා. ආණ්ඩු එනවා යනවා. එම නිසා ජන මතයට හිස නමා මැතිවරණය පවත්වලා ජනමතයේ ඉස්මතු වෙන්න අවස්ථාව ලබා දෙන්න"

Advertiesment