Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


ත්‍රස්ත විරෝධි පනත ගැන සාකච්ජා කරන්න සිවිල් ක්‍රියාකාරීන් රැසක් අධිකරණ ඇමති හමු වෙති  


2023-04-07 9374

 

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් අගතිදායක කරුණු පිළිබඳව බලවත් අවධානය යොමු කර ඇති සිවිල් සමාජ සංවිධාන ගණනාවක නායකත්ව මණ්ඩලයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමු වී ඒ පිළිබඳව කරුණු දක්වමින් විශේෂ සාකච්ජාවක නිරත විය.

සාධාරණ  සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා සිවිල් සහ දේශපාලන ක්‍රියාධරයන් රැසක් සමඟ ගෙවුණු සති කිහිපයේ දී සිදු කර ඇති සාකච්ජාවන්හි දි බලවත් අවධානයට ලක් වූ කරුණු රැසක් පදනම් කර ගනිමින් සාධාරණ  සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාව ලබා දී තිබුණි.

මෙම සාකච්ජාවේදි විශේෂයෙන් ම අවධානයට ලක් වූයේ පනතේ ඇතැම් විධිවිධාන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මහ ජනතාවගේ අයිතිවාසිකම්වලට එල්ල විය හැකි තර්ජනයන් පිළිඳවය. එමෙන් ම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවට පැහැදිලි සාධක පවතින ඇතැම් බලධරයන් වෙත ප්‍රශ්න කිරීමට නොහැකි අන්දමේ අධික බලතල ලබා දීම මත මෙම පනතේ විධිවිධාන අවභාවිතා කිරීමට හැකි විභවයක් නිර්මාණය වී තිබීම පිළිබඳවද එම නියෝජිත පිරිස අමාත්‍යවරයාගේ අවධානය යොමු කර වන ලදි.

එමෙන්ම වෘත්තීය සමිති සහ මාධ්‍ය නිදහස පිළිබඳව සැළකීමේදී අවධානයට යොමු විය යුතු කරුණු ගණනාවක් ගැන ද එහිදි දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් විය.‍

මෙම සාකච්ජාවේදී මතු වූ කරුණු පිළිබව තම අවධානය යොමු කරන බව පැවසු අමාත්‍යවරයා අවසන් තීරණය ගනු ලබන්නේ සියලු පාර්ශවයන්ට සවන්දීමෙන් පසුව වන බව සඳහන් කරන ලදි.

අමාත්‍යවරයා සමග සිදු කරන ලද මෙම සාකච්ජාවට මහාචාර්ය රොහාන් සමරජීව,ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාවේඩ් යූසුෆ්, ආචාර්ය ජෙහාන් පෙරේරා,ආචාර්ය නිමල්කා පුනාන්දු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ලසන්ත ද සිල්වා, නීතීඥ අකලංක හෙට්ටිආරච්චී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Advertiesment