Tuesday 30th of May 2023

English Tamil
Advertiesment


තෙල් විදුලි ගුවන් ආයතනවල පාඩුව තුනේ කෝටි අසූ පන්දහසක් 


2023-04-04 8084

 


ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2022 වසරේ මුල් මාස 8 ඇතුළත  දී පමණක්  රුපියල් කෝටි අසූ පන් දහස් හාර සීයකට වැඩි  දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

රාජ්‍ය ආයතනවල සමස්ත පාඩුවෙන් 99%ක් ජනනය කර ඇත්තේ මේ ආයතන තුන බව පැවසූ මන්ත්‍රීවරයා එම  ආයතන තුන වර්ෂ ගණනාවක් තිස්සේ අලාභ ලබන තත්ත්වයක පවත්වා ගෙන යෑම හේතුවෙන්  විශාල ණය බරක් ඇතිවී තිබෙන බවද ප්‍රකාශ කළේය.

රටේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ක් 2022 වසරේ මුල් මාස 8 ඇතුළත දී ලැබූ පාඩුව රුපියල් කෝටි හැත්තෑ දෙදහස් හය සීයක් (72,600) වන බවද ඔහු සඳහන් කළේය.

මෙම ආයතන 52න් රාජ්‍ය ව්‍යවසායන් 32ක බදු අය කිරීමට පෙර ලාභය රුපියල් කෝටි 13400ක් බවත් ඉතිරි රාජ්‍ය ව්‍යවසායන් විසි එක රුපියල් කෝටි අසූ හය දහස් එක සීයක (86100)  අලාභයක් වාර්තා කර ඇති බවත් ගාමිණී වලේබොඩ මහතා  ප්‍රකාශ කළේය.

රාජ්‍ය මූල්‍ය අවදානම අවම කර ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය පිරිවැය මත පදනම්වූ මිලකරණයකට යෑමේ  සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව පෙන්වා දෙන බව පැවසූ හෙතෙම  මෙම ආයතන නගා සිටුවීමේ එකම මග පුද්ගලීකරණය නොව රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්වය (PPP)  යටතේ කටයුතු කිරීම බවද  පෙන්වා දුන්නේය.

මේ අතර 2022 වසරේ පළමු කාර්තුවේ 4.3% ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය එම වසරේ දෙවැනි කාර්තුවේ දී 4.6% ක්  දක්වා ඉහළ ගොස් ඇතැයි ද ගාමිණී වලේබොඩ මහතා  වැඩි දුරටත් පැවසීය.

 

Advertiesment