Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


යළි IMF යන්නේ නෑ


2023-04-04 8851

 

18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට තමා කිසි සේත්ම බලාපොරොත්තු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.

ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි රාමුව ඇතුළත පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම රාමුවෙන් පිට යන්න හැකියාවක් නැතැයි ද මාස හයක රාමුවක් ලබා දී තිබෙන අතර වැඩ කටයුතු කළ යුත්තේ ඒ රාමුව ඇතුළත පමණක් බවද සඳහන් කළේය.

කෝටි ගණන් පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරන්න එපා යැයි වෘත්තීය සමිති කියන බවත් එම ආයතනවලට වියදම් කරන මුදල්වලින් තුනෙන් එකක් විශ්ව විද්‍යාලවලට සහ පාසල්වලට දුන්නා නම් මීට වඩා දියුණුවක් ඇති බව බවත් පැවසූ ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට අවශ්‍ය ආකාරයට වැඩ කරන්න නොහැකි බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමින් වන අතර එම හමුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත් විණ.

යළිත් ඇෆ්ගනිස්තානයෙන් පිටු පස්සට ශ්‍රී ලංකාවට වැටෙන්න ඉඩ දිය නොහැකි බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත, සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම සහ දූෂණ විරෝධී පනත් කෙටුම්පත යන කෙටුම්පත් තුනම ජූනි මාසය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද, නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

Advertiesment