පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් අධිකරණය, මැතිවරණ කොමිසම සහ ජනමාධ්‍ය මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට චෝදනා එල්ල කළ අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපි සාමාජිකයෝ. අනිවාර්යෙන්ම මේ ණය මුදල අපිට ලැබෙනවා.නමුත් මේ මුදල ලබා දෙන්න අත්සන් කරපු කොන්දේසි මොනවද කියලා අපි දන්නේ නෑ.මා විශ්වාස කරනවා ඉදිරියේදී ඒ කොන්දේසි මොනවද කියලා කියයි කියලා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අධිකරණය, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව සහ ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා ගත් ජයග්‍රහණ මත අධිකරණයට,රජයේ උසස් නිලතලවලට යම් කිසි ස්වාධීනත්වයක් ලබා දුන්නා. නමුත් අද පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා 21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දුන්න ස්වාධීනත්වය නැති කරන්න හදනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලබා දුන්න නඩු තීන්දුවක් මත වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. පළමු වෙනි වතාවටයි මම ඇහුවේ .ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවකින් කොහොමද මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙන්නේ. මැතිවරණ කොමිසමත් වරප්‍රසාද කමිටුවට ගේනවා. දැන් මාධ්‍යවේදීන්ටත් වරප්‍රසාද ප්‍රශ්න මතු කරල තියනවා. විශේෂයෙන්ම සියත ටෙලි වැකිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. මේවා වැරදි වැඩ. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මේ ආයතන මර්දනය කිරීමට උත්සාහ කිරීම අපිට පිළි ගන්න බෑ. මේ ටෙලි වැකිය කතාව මම සම්පූර්ණයෙන් කියෙව්වා. මගේ නමත්, හිටපු ජනාධිපතිතුමාගේ නමත් තියනවා. මගේ නම තියෙන්නේ බලය බෙදීමට කැමතියි කිවුවා කියලා. හිටපු ජනාධිපතිතුමාගෙන් මම ඇහුවා අනේ බෙදීමට ඔබතුමා කැමතිද කියලා. එතුමත් ඔව් කිව්වා.ඒක ඇත්ත වශයෙන්ම විවේචනයක්. විවේචනය කිරීමේ අයිතිය මාධ්‍යයට තියනවා. මතයක් ප්‍රකාශ කිරීමේ අයිතියත් තියෙනවා.
මීට කාලයකට පෙර මෙහෙම සිදුවීමක් සිදු වුණාම කරන්නේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අවවාද කරලා නිදහස් කරනවා. නමුත් මේ අවස්ථාවේ දී කමිටුව මගින් වරප්‍රසාද කඩ වුණා කියලා තීරණයක් අර ගෙන නීතිපතිට යොමු කරන්න හදනවා. නීතිපතිට යවන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්නයි. ඇත්ත වශයෙන්ම නීතිපතිවරයා එතුමාගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. කමිටුවට මේක තේරුම් ගන්න බැරි උනාට අපිට කරන්න දෙයක් නෑ. නඩේසන් කියලා ඒ කාලේ ඉහළ පෙළේ රාජ්‍ය නීතිඥවරයෙක් හිටියා. ඔහුව පාර්ලිමේන්තුව විවේචනය කරා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගියා. ඔහුම ඔහුගේ නඩුව කතා කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුව නිදහස් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා විවේචනය සහ මතයක් ප්‍රකාශ කරන්න පුළුවන් කිව්වා. ඒ අයිතිය මාධ්‍යයට, ඕනම පුද්ගලයෙකුට තියෙනවා කියලා කිව්වා. නීතිපතිවරයා මේක කියලා තියෙනවා. නමුත් කමිටුව මේක පිළි ගත්තෙ නෑ මොකද කමිටුවේ පෞද්ගලික අරමුණ පළි ගැනීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට මේක යවලා ඒ මාධ්‍ය ආයතන විනාශ කරන්න, පීඩනයට පත් කරන්නයි උත්සාහ කරන්නේ. මේ වාර්තාවට සමගි ජන බලවේගයේ අපි අත්සන් කළේ නෑ.
ගරු සභානායකතුමා මේ පැමිණිල්ල කවුද කළේ..? පැමිණිල්ලක් නැතුව මේ වගේ දෙයක් කරන්න බෑනේ. නියෝජ්‍ය කථානායකතුමනි.මම මේක කියෙව්වා පැමිණිලි කරුවෙක් නෑ.පොදුවේ තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහාස කරා කියලා. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්නේ වරප්‍රසාද කඩ වුණාද නැද්ද කියලා.පස්සේ මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්නේ දඩුවම් කරන්න. මේ ලිපිය දිහා බැලුවම මේක හාස්‍ය සඳහා ලියපු ලිපියක්. කිසිම අපහාසයක් සිද්ධ වෙලා නෑ. ඇත්ත වශයෙන්ම මේ කරන්න හදන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මාධ්‍ය ආයතන නිහඬ කරන්න ගන්න උත්සාහයක්.
ඇත්ත වශයෙන්ම මේ කරන්නේ පලි ගැනීමක්. විවේචන දරා ගන්න බැරි නම් අපි දේශපාලනය නොකළ යුතුයි. දේශපාලනය කරද්දී විවේචන එනවා. ඒවා විඳ දරා ගන්න අපි දැන ගන්න ඕන. මම රජයට පැහැදිලිවම කියනවා මාධ්‍ය ආයතනවලින් පලි ගන්න හදන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරිමේ උත්සහය අත් හැරලා ඒ මාධ්‍යවේදියාගෙන් යම් කිසි වැරද්දක් උනා නම් ඔහුව පාර්ලිමේන්තුවට ගෙනල්ලා අවවාද කරලා මේ ප්‍රශ්නය අවසන් කරන්න. පාර්ලිමේන්තුව හැමදාම කළේ මෙහෙමයි. නඩේසන් නඩුවේ පැහැදිලිවම කියලා තියෙනවා විවේචනය කරන්න පුළුවන්, මතයක් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා.
21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රශංසා කරලා තිබ්බා.නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා අධිකරණය, මැතිවරණ කොමිෂන් සභාව, මාධ්‍යවේදීන් නිහඩ කරන්න ගන්නා උත්සාහය, ජුනි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා කරනවාට කිසිම සැකයක් නෑ. මම ආණ්ඩුවට අනතුරු අඟවනවා. ජීඑස්පී සහනය ලැබෙන්නේ ලබන මාසේ. ජීඑස්පී සහනය ලැබෙනවා ද නැද්ද කියන එක ලබන මාසේ තමයි තීරණය වෙන්නේ. සාමකාමී විරෝධතා සඳහා පහර දෙනවා. දැනටමත් දෙදෙනෙක් මැරුණා. මැතිවරණ කල් දාලා තියනවා. ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා. මැතිවරණ කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව ඒ ප්‍රඥප්තියේ තියෙනවා. මම ඉල්ලීමක් කරනවා අපි මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළ අවසන් කරමු. ඇයි අධිකරණයට යවන්නෙ.මේ මාධ්‍ය ආයතනයෙන් යම් කිසි වැරද්දක් උනානන් අවවාද කරලා මේක අවසන් කරන්න කියලා.
Lanka Newsweek © 2023