Sunday 10th of December 2023

English Tamil
Advertiesment


දුප්පතුන්ගේ ජීවන වියදම සියයට 65කින් ඉහළ ගිහින් 


2023-03-01 7853

 

2022 දී ලක්ෂ පහකට රස්සා නැති වෙලා 

 

දුප්පත්කම 13% සිට 25% දක්වා වැඩි වෙලා 

 

ලෝක බැංකුවේ නවතම වාර්තාව කියයි  

 

2022 වර්ෂයේ දී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ පහකට පමණ අවම වශයෙන් රැකියා අහිමි වී ඇතැයි ද ඒ අතරින් වැඩි දෙනෙකු කර්මාන්ත සහ සේවා අංශවල රැකියා කරන කාන්තාවන් බව ද ලෝක බැංකුව පෙන්වා දෙයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් මේ බව පෙන්වා දී තිබේ.

ලෝක බැංකුවේ එම නවතම වාර්තාවට අනුව 2021 සහ 2022 අතර කාලයේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය ආසන්න වශයෙන් 13% සිට 25% දක්වා වැඩි වී තිබෙන අතර එම කාල රාමුවේ දී නාගරික දරිද්‍රතාවය ද 5% සිට 15% දක්වා තුන් ගුණයකින් වැඩි වී තිබේ. 

දැනටමත් දුප්පතුන් ලෙස වර්ගීකරණය කර ඇති පුද්ගලයින්ගේ ජීවන වියදම 65%කින් ඉහළ ගොස් ඇති අතර දිළිඳු නොවන පුද්ගලයින් සඳහා එම වැඩිවීම 57%ක් වී තිබේ.

ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ තීරණාත්මක මොහොතක පසු වන බවත් වසර ගණනාවක වැරදි ආර්ථික කළමණාකරණය, දුර්වල පාලනය, දුර්වල ප්‍රතිපත්ති තේරීම්, Covid-19 වසංගතය සහ රුසියානු යුක්‍රේන ගැටුම් වැනි භාහිර කම්පනවල බලපෑම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බව ද ලෝක බැංකුව පෙන්වා දෙයි.

පවතින ආහාර අනාරක්ෂිතභාවය හේතුවෙන් දැනටමත් ළමා මන්දපෝෂණය වැඩිවී ඇති අතර 2021 වසරේ 7.4%ක් වූ ළමා මන්දපෝෂණය 2022 වසරේදී 9.2% දක්වා වැඩි වී තිබේ.

ශ්‍රී ලංකාවට නව සංවර්ධන ආකෘතියක් අවශ්‍ය බවට, පවතින අර්බුදය මනාව පෙන්නුම් කරන බැවින් ආර්ථිකයේ නිවැරදි සමතුලිතතාවයක් ඇති කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට උපකාර කළ යුතු බව ද ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් පවසයි.

ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහාය දැක්වීමට ලෝක බැංකුව දැනටමත් කටයුතු කරමින් සිටින අතර පවතින මුදල් හුවමාරු වැඩසටහන් ප්‍රතිනිර්මාණය කිරීමට සහ අවශ්‍යතා ඇති අයට මුදල් ආධාර සැපයීමට පියවර ගෙන ඇති බව ද මාටින් රයිසර් පෙන්වා දී තිබේ.

වෙළෙඳ පිරිවැය අඩු කිරීම, පුද්ගලික අංශයට අයෝජනය කිරීම පහසු කිරීම, ශක්තිමත් මූල්‍ය අධීක්ෂණය සහ ණය කළමනාකරණය ඔස්සේ අතීත වැරදි නැවත සිදුවීම වළක්වා ගැනීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමට හැකියාව පවතින බව ද ලෝක බැංකුව වැඩි දුරටත් සිය වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

Advertiesment